ග්‍රේරුගේ පොත ජනපතිට

පෙබ 03, 2019

    දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය කුසලතාවයෙන් සහ නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැලපීම, නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රැකියා වෙළෙඳපොළට ගැලපෙන ලෙස අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහ ප්‍රතිපත්ති වෙනස්විය යුතු බවට වන හඬ අද ඊයේ අපේ රට තුළ නැගුණු හඬක් නොවන බවයි.

    එය දීර්ඝ කාලීන ඉල්ලීමක් වුව ද, කෙතරම් පර්යේෂණ වාර්තා එළි දැක්වුව ද එම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා තම වෘත්තීය අයිතිවාසිකම් පමණක් ඉල්ලා හඬ නඟන කිසිවෙකුගේ අවධානය ඒ පිළිබඳ යොමු නොවීම පිළිබඳව ද කණගාටුව පළ කළේය.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උපාධිධාරින් රැකියා ඉල්ලා මහපාරේ කෑ ගසන යුගය නිමා වන්නේ ද මෙම ගැටලුවට නිසි විසඳුමක් ලැබුණු දිනක බවයි.

    ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වෙනුවෙන් සම්පාදනය කරන ලද පර්යේෂණ නිබන්ධනය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැලපීම, නමින් මෙලෙස ග්‍රන්ථයක් ලෙස එළි දක්වා තිබේ.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ මූලෝපාය හැකියා පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් සාකච්ඡා කෙරෙන අතර රැකියා වෙළෙඳපොළ තුළ මතු වී ඇති අභියෝග හරහා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ වගකීම සාකච්ඡා කර තිබේ.

    ග්‍රන්ථයේ පළමු පිටපත ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    Last modified on ඉරිදා, 03 පෙබරවාරි 2019 19:01

    Latest News