"ගම සමඟ පිළිසඳර" පසුවිපරමට ජනාධිපති කාර්ය සාධක බලකායක්....

අප්‍රේ 10, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා "ගම සමඟ පිළිසඳර" වැඩසටහන පසුවිපරම් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.

    එය නම් කරනු ලැබ ඇත්තේ, "ගම සමඟ පිළිසඳර" ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙසයි. රජය අපේක්‍ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස මෙයෙවීම එමගින් සිදු කෙරෙනු ඇත. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයේ යුත් කාර්යසාධක බලකායට මැති-ඇමතිවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකු ඇතුළත්.

    නිමල් ලංසා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අ‍රඹේපොළ, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරු සහ කාදර් මස්තාන්, කපිල අතුකෝරළ, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගොවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහි සාමාජිකයින්.

    ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනෙවිය "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටලු විසඳීමට ජනාධිපතිතුමා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතා මත මෙයෙවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමයි.

    ප්‍රාදේශිය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මාර්ග, පානීය ජල සම්පාදන, විදුලිය, දුරකතන, සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල් වෘත්තිය අධ්‍යාපන ආයතන, නාගරික විශ්වවිද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳ පොළ, ගබඩා ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම ද බලකායට පවරා තිබේ.

    රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුල ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්‍ෂිතයි.

    කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින අවස්තා ඇත්නම් ඒ ගැන තමාට වාර්තා කරන ලෙස, ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායට නියම කර ඇත.

    Latest News