ගුවන් හමුදාව ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනපති අතින් ජනතා අයිතියට...

අප්‍රේ 04, 2021
    “ගම සමඟ පිළිසඳර” සිව්වන වැඩසටහනේදී ජනපති කළ නියමය තෙමසකදී ඵල දරයි...

    කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක් ගැනවිලිවලට සවන් දීමෙන් පසු ජනාධිපතිතුමා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (04) දහවල් ජනතා අයිතියට පත් කෙරිණ.

    පසුගිය දෙසැම්බර් මස 30 වන දින පැවැති “ගම සමඟ පිළිසඳර” සිව්වන වැඩසටහන සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි.

    කැබිතිගොල්ලෑව, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයකි. 2006 ජුනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේදී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

    1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජීවත්වීමට සිදුවිය. එකී උවදුර අවසන් වුවද ඔවුහු බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියහ. ඔවුනගේ ඉඩම් ගැටළු විසඳීම, වැව් ඇළ වේලි පිළිසකර කිරීම, ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ඇතුළු ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා එදින නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී. අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිතුමා විසින් පවරනු ලැබීය.

    Pre px 900 04 04 21

    අද කණුගහවැව ගම්මානය වෙත ගිය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරත විය.

    යෝජිත වෙහෙර වහන්සේ ඉදිකෙරෙන භූමිය, අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය, ආවාස ගෙය සහ වැඩ අවසන් කෙරුණු ඝණ්ඨාර කුළුණ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි රාජපක්ෂ මැතිතුමා නව නිවාස 12 ක සහ “ගුරු නිවාසයෙහි” යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන්නේය.

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණ.

    කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකල අක්ෂි සැත්කම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

    හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය සිදු කෙරෙමින් පවතී. කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් පස් දෙනෙකුට ඔප්පු ප්‍රදානය සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත ළගා වූ ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කි.මි 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කළේය. අසළ නිවසකට ගිය එතුමා නිවැසියන් සමග සුහද කථා බහක නිරතවෙමින් තොරතුරු විමසීය.

    අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු, ගුවන් හමුදා නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News