ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට තවත් රු.25,000ක මාසික පෝෂණ දීමනාවක්

මාර් 25, 2021

    ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊට අදාළ චෙක්පත් ප්‍රදානය සිදුවිය.

    එහිදී ෆොන්ටේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාට සංකේතාත්මකව ඊට අදාළ අනුග්‍රහය සහිත චෙක්පත ප්‍රදානය කළාය.

    එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ක්‍රීඩාවලට අදාළව උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකි.

    ඔවුන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත් ගතවීම සිදුවූයේ පසුගිය 15 වැනිදාය.

    අනතුරුව ඔවුන් සඳහා පෝෂණ අතිරේකයන් වෙනුවෙන් තවත් දීමනාවක් ලබාදීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබිණි.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    "විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩාව නැංවීමට ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා කවුන්සිලය හා එක්ව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබෙනවා.

    මෙම වසරේ සහ ලබන වසරේ දී එහි කෙටි කාලීන ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා  කටයුතු කරනවා. 2024 සිට 2028 දක්වා මධ්‍යකාලීන වශයෙනුත් 2034 න් එපිටට දිගුකාලීන වැඩපිළිවෙලක් වශයෙනුත් එය ආරම්භ කර තිබෙනවා.

    ගිවිසුම් ප්‍රකාරව වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවට එළඹි ක්‍රීඩකයන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගෙන සුදුසුකම්ලත් පෝෂණවේදියකු හරහා නිසි උපදෙස් ලබාගනිමින් එම ක්‍රීඩකයන්ගේ  පෝෂණ මට්ටම නංවාලීමට ෆොන්ටේරා සමාගම අප සමඟ අත්වැල් බැඳගත්තා.

    ගිවිසුම්ගත ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රු.100,000/-ක දීමනාවක් හා ෆොන්ටේරා සමාගම මගින් එක් ක්‍රීඩකයකුට රු.25,000/-ක මුදලක් වෙන් කරනවා.

    අවුරුද්දකට තෝරාගැනීමේ පරීක්ෂණ 3ක් හෝ 4ක් පැවැත්වීමට සෑම සංගමයකටම අපි උපදෙස් ලබා දී තිබෙනවා. ක්‍රීඩා ආබාධවලට ලක්වූවන්ට හෝ විවිධ හේතූන් නිසා සාධනීය මට්ටමින් පහළ සිටින ක්‍රීඩකයින් හට යලි  තම සාධනීය මට්ටමට ළඟාවීමට මේ හරහා හොඳ අවස්ථාවක් ලැබෙනවා.

    මේ අවුරුද්ද අවසානයේ මේ ආකාරයටම ක්‍රීඩකයන් 200 ක් ගිවිසුම්ගත කර කනිෂ්ඨ සංචිතය (Junior Pool) සකසමින් ඊළඟ ජයග්‍රහණ කරායාමට අපි බලාපොරොත්තු වෙනවා. 

    සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමින් පමණක් නොව පෝෂණ මට්ටමින් ද සවිමත් කර අපේ රටේ ක්‍රීඩාව රනින් ජයග්‍රහණය කිරීම අපේ අරමුණයි.

    මේ සඳහා අප හා අත්වැල් බැඳගත් ෆොන්ටේරා සමාගමට ස්තූතිවන්ත වන අතරම කනිෂ්ඨ සංචිතය (Junior Pool ) සඳහා ද මෙම පෝෂණ දීමනාව ලබාදීම සඳහා අනුග්‍රහය දැක්වීමට ෆොන්ටේරා සමාගම කැමැත්ත පළකිරීම සම්බන්ධව එහි කළමනාකාරිනි විද්‍යා සිවරාජ් මහත්මිය ඇතුළු එම සමාගමට මාගේ විශේෂ  ස්තූතිය හිමිවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය."

    මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ජුලියන් බොලිං, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපයේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා  සිවරාජා මහත්මිය සහ ඇන්කර් සමාගමේ කාණ්ඩ කළමනාකරු දිනෙත් පතිරණ මහත්වරු ඇතුඵ නිලධාරීන් පිරිසක් ද උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගී වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 10:15

    Latest News