බැඳුම්කර චෝදනාවට රවී ඇතුළු 8ක් රිමාන්ඩ්

මාර් 17, 2021

    2016 වසරේ මාර්තු මස පැවති බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක් වටිනා බැඳුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 08 දෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා

    දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉසඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළා.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටි පර්පචුවෙල් සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වන එස්. පදුමනාභන්, ඉන්දික සමන් කුමාර යන අයද රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරුණා

    නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි තුන්වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ නඩුවේ නව වන විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය පුංචිහේවා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ එම විත්තිකරුවන් දෙදෙනාම විදේශගතව සිටින අතර ඔවුන්ට සිතාසි බාර දීමට නොහැකි වූ බවයි.

    ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා.

    එහිදි නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුට ලබාදී ඇති චෝදනා පත්‍රය සමඟ ඇමුණුම් නිසි පරිදි ලබා දී නොමැති හෙයින් එය අසම්පූර්ණ චෝදනා පත්‍රයක් වශයෙන් පිලිගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(6) වගන්තිය යටතේ මෙවැනි නඩුවක දී විත්තිකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය බව සඳහන් කලා.

    මෙම නඩුවට පාදක වන අපරාධය තුළින් මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි අගතියක් සිදු වූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම නඩුවේ දෙවන විත්තිකරු මෙම අපරාධය සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා බවත් තුන්වන විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් පැවසුවා.

    මෙම විත්තිකරුවන් දෙදෙනා ආර්ථිකය පරිපාලනය කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් මහජන විශ්වාසය උපරිමයෙන් දිනාගෙන කටයුතු කළ යුතු අයවලුන් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කළේ.

    එහෙත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබෙන ආකාරය පිරික්සීමේ දී ඔවුන් මහජන විශ්වාසය අපගමනය වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඇය චෝදනා කර සිටියා.

    මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔවුන් අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු විය හැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

    මෙම නීති කෘත්‍යය ආරම්භ වීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ ද එම වරෙන්තුව නිකුත් වී දින හතක් යනතුරු ඔවුන් සැඟවී සිටි බවත් පසුව අභියාචනාධිකරණයට ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රිට් නියෝගයක් ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා.

    මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙන්නේ පොදු දේපළ පනත යටතේ හෙයින් සුවිශේෂී කරුණු නොමැතිව ඔවුන්ට ඇප ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා.

    තව දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් විත්තිකරුවන් සිදු කළ මෙම අපරාධය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වූ බවත් ඒ හරහා රටේ පොලී අනුපාතය ඉහළ ගිය බවත් සඳහන් කළා.

    මේ හේතුවෙන් විශාල මහජන කැළඹීම හටගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම මහජන කැළඹීම වර්තමානයේත් පවතින බවත් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන ලෙස මහජනයා දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.

    මෙවැනි සියලු හේතූන් මත මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය අනුමැතිය පළ නොකරන බවද නියෝජ්‍ය සුවිශේෂී ජෙනරාල්වරිය අවසන් වශයෙන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

    මෙහිදී විත්තිකාර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සම්බන්ධයෙන් ඇප නියම කිරීමට අධිකරණයට බලයක් තිබෙන බව තර්ක කළා.

    තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර පලාගොස් සිටි පුද්ගලයකු නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම නඩු කටයුත්තේ දී තමන් අසාධාරණ ලෙස අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා ඔහු අභියාචනාධිකරණය හමුවට යාම වරදක් දැයි ප්‍රශ්න කළා.

    මෙම අපරාධයට සිදු වූයේ යැයි කියන සමයේ තම සේවාදායකයා යටතේ මහ බැංකුව හෝ වෙනත් රාජ්‍ය බැංකු පාලනය නොවූ බවත් ඒ අනුව මෙම චෝදනා පදනම් විරහිත බවත් ජනාධිපති නීතිඥ වරයා පෙන්වා දුන්නා.

    වර්තමානයේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයාගේ විනෝදාංශය බවට පත්වී ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග රැසකට සහභාගී වී ඇති බවත් විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධවය පලකරන පලමු අවස්ථාව මෙය යැයි පැවසුවා.

    සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද තම සේවාදායකයින් ඇපමත මුදා හරින ලෙස අධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත් කළා.

    දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

    2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් මේ මස 12 වනදා මෙම නඩුව ගොනු කළා.

    Latest News