අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් - අගමැති

මාර් 17, 2021

    අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති ලෝක කුසලාන විජග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමින් අගමැතිතුමා මේ බව අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

    1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයන් අතට පත්කරමින් අගමැතිතුමාගේ සුරතින්ම එම පදක්කම් ඔවුන්ට ප්‍රදානය කිරීම මෙම ජාතික සැමරුම් උත්සවයේ විශේෂත්වයක් විය.

    ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අගමැතිතුමාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගැන්වූහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගන්නා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, එවකට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රිකට් සභාපති (1996) ආනා පුංචිහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, තැපල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරින්, ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයකන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News