ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ගුවන් හමුදාවට තවත් ඩ්‍රෝන යානා දෙකක්

පෙබ 19, 2021

    මදුරුවන් බෝවන ස්ථාන සොයාගැනීම සහ උවදුරු පාලනය සඳහා නව තාක්ෂණය බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ජාතික මෙහෙයුමට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක විසින් ඩ්‍රෝන් කැමරා දෙකක් ඊයේ (පෙබරවාරි 18) දින පරිත්‍යාග කරනු ලැබිණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී මෙම පරිත්‍යාගය ලබාගන්නා ලදි.

    ඩෙංගු බෝවන ස්ථාන සොයා ගැනීමටත්, බෝවන ප්‍රදේශවල ද්‍රව ඉසින ආකාරය නිරීක්ෂණය කිරීමටත් ඩ්‍රෝන යානා යොදවනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසීය.

    නව තාක්‍ෂණය මගින් විශ්ලේෂණ කටයුතු සඳහා ගුවන් දර්ශන එක්රැස් කිරීමට සහ අභිජනන ස්ථාන සිතියම් ගත කිරීමට පහසුකම් සැලසෙනු ඇත.

    තවද, අවශ්‍ය විටෙක මෙම උපකරණ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ද යොදා ගත හැකි බව ඔහු පැවසීය.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද සහභාගි විය.

    Latest News