රතන සූත්‍ර දේශනාව දිවයිනේ විහාරස්ථාන රැසක

නොවැ 09, 2020

    කොරෝනා වෛරසය මව්බිමෙන් තුරන් වේවායි, ප්‍රාර්ථනයෙන් මහානුභාව සම්පන්න රතන සූත්‍රය සහ ජ්වර පිරිත ඊයේ සවස 5.00 සිට පැයක කාලයක් දිවයින පුරා බොහෝ විහාරස්ථානවලදී සජ්ඣායනා කෙරිණ.

    ඒය සංවිධාන කරන ලද්දේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මහතාගේ උපදෙස් අනුව. ඊට සමගාමීව අන්‍යාගමික ස්ථානවල ද ආශිර්වාද වැඩසටහන් පැවැත්විණ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආගමික වැඩසටහන් සංවිධාන කෙරිණ. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පිරිත් සජ්ඣායනාව පැවැත්වුණේ, විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

    කෑගල්ල කිරිවන්දෙනිය පුරාණ විහාරස්ථානයේ දී ද, පිරිත් සජ්ඣායනා කෙරිණ. ඒ්, සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක නාරම්බැද්ද විහාරාධිපති පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ වැඩම වීමෙන්.

    මාතර බෝධීන් වහන්සේ අභියස දී ද, මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ඣායනා කරනු ලැබීය. මාතර බෝධි ආරක‍ෂක සභාවේ සහ මාතර-හිත්තැටිය රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමියන්ගේ මූලිකත්වයෙන් පිංකම සංවිධාන කර තිබිණ.

    කොරෝනා වෛරසය මව්බිමෙන් තුරන් වේවැයි, ප්‍රාර්ථනයෙන් අලුත්ගම, කන්දෙවිහාරයේ දී ද, රතන සූත්‍ර දේශනාවක් පැවැත්විණ. ඒය සංවිධාන කෙරුණේ, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

    ඊයේ සවස රතන සූත්‍ර දේශනා පිංකම පැවති තවත් ස්ථානයක් වන්නේ, ගාල්ල, මාගාල්ල-කච්චිවත්ත පුරාණ විහාරයයි.

    රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ දී රත්නපුර සුමන මහා විහාරාධිපති පූජ්‍ය කොන්ගස්තැන්නේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩිම වීමෙන් රතන සූත්‍රය සජ්ඣායනා කෙරිණ.

    අම්පාර, දිගාමඩුල්ල, ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී ද, රතන සූත්‍ර දේශනාවක් පැවැත්විණ. පිංකම සංවිධාන කෙරුණේ, පරිවේනාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    කොරෝනා වෛරසය තුරන් වේවායි ප්‍රාර්ථනයෙන් සෙසු ආගමික ස්ථානවලද ආශිර්වාද වැඩසටහන් පැවැත්විණ. වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවති ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සහභාගි වූහ. සියලු ආගමික වැඩසටහන් පැවැත්වුණේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

    මහනුවර මුස්ලිම් ප්‍රධාන ආගමික වැඩසටහන පැවැත්වුණේ, මීරාමක්කම පල්ලියේ දී. ඒච්.ඒම්. රිස්වාන් මවුලවිතුමා ආගමික වතාවත් මෙහෙයවිය.

    Last modified on සදුදා, 09 නොවැම්බර් 2020 19:07

    Latest News