නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද (02) සිට

නොවැ 02, 2020

    නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද(02) සිට ක්‍රියාවට නංවන බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ ඒ අනුව, ඒ ඒ ආයතන සඳහා අවශ්‍ය නිළධාරීන් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බවයි.

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට පසුගියදා නියෝග කෙරිණ.

    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කළ බවයි.

    වෛරස ව්‍යාප්තිය නිසා සංචරණය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වලට එය විශේෂයෙන් අදාළ වේ.

    Latest News