හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ දුරකතන වාර්තා ලබා ගන්න නියෝග

ඔක් 29, 2020

    වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නිල දුරකථනයෙන් 2016 ජනවාරි 30 වැනිදා ලබා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එහි පොලිස් ඒකකයට අද(29) නියෝග කළා.

    ඒ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී.

    කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය හෙවත් සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපල භාවිත කර ඇති බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය 2016 ජනවාරි 30 වැනිදා තමාව අත්අඩංගුවට ගත් බව රාජපක්ෂ මහතා මීට පෙර කොමිසම හමුවේ සඳහන් කළා.

    ඔහු පැවසුවේ එදිනම රාත්‍රී 7.00 ට පමණ තමාව කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එෆ්.සී.අයි.ඩී නිලධාරින් මහේස්ත්‍රාත්වරයා හමුවේ තමාට එරෙහි චෝදනා ප්‍රකාශ කරන විට නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා තිබූ බවයි.

    අනතුරුව මහේස්ත්‍රාත්වරයා වෙනත් පාර්ශවයක් සමඟ දුරකථන සංවාදයක නිරත වන ආකාරය තමා නිරීක්ෂණය කළ බව ද යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළා.

    ඒ අනුව, ධම්මික හේමපාල මහතා ඔහුගේ නිල දුරකථනයෙන් එදින ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් අදාළ සමාගමෙන් ගෙන්වා ගැනීමට කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

    අදාළ සමාගමෙන් ලැබුණු දුරකථන වාර්තාව නිරීක්ෂණය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම වාර්තාවේ ඇතුළත් දුරකථන අංක හේමපාල මහතාගේ අවධානයට යොමු කළා .

    එහිදී අනාවරණය වූයේ ධම්මික හේමපාල මහතා අදාල කාල සීමාව තුළ ජිනදාස නැමැත්තෙකු සමග දුරකථන සංවාදයක නිරත වී ඇති බවයි.

    ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාගේ ඥාතියෙකු බව ඔබ නොදන්නේදැයි සභාපති විනිසුරුවරයා විමසුවා.

    "මම දන්නෙ නැහැ ස්වාමීනි. ඔහු මගේත් ඥාතියෙක්." ධම්මික හේමපාල මහතා පිළිතුරු දුන්නා.

    යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී නීතිඥවරයා හේමපාල මහතා ගෙන් ප්‍රශ්න කළේ ජිනදාස යන අය තමාගේ ඥාතියෙකු නම් ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් නොගත්තේ මන්ද යන්නයි.

    සෙනසුරාදා දිනයක රාත්‍රී කාලයේ උසාවි ක්‍රියාත්මක නොවන බව දැන ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ නිල දුරකතනයට ඇමතුමක් ලබා ගත්තේ කෙසේද යන්න ඔහු වැඩිදුරටත් විමසුවා.

    "ඒ පිළිබඳව මට මතකයක් නැහැ ස්වාමීනි.

    මම තවමත් ජිනදාස සමග කතා බහ කරනවා" ධම්මික හේමපාල මහතා පිළිතුරු දුන්නා.

    Latest News