හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීයකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගැන්වෙයි

ඔක් 27, 2020

    භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන ඇරඹේ.

    ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහාලුම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක වැඩසටහන “අපි හැදී රට හදමු” යනුවෙන් නම් කර තිබේ. දිනකට පාසල් පද්ධතියෙන් ඉවත ලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වන අතර, වසරකට කිලෝ 29,000 ඉක්මවන බව ගණන් බලා තිබේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් බැහැර කෙරෙන ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නැත.

    ඉවතලන පෑන් බට සහ දත් බුරුසු දිරාපත්වීමට වසර 100 – 500ක් දක්වා අතර කාලයක් ගතවන බව පරිසරවේදීහූ පෙන්වා දෙති. සෑම පාසලකටම විශේෂ බහාලුම් සැපයීමට සැලසුම් කර තිබේ. “වෙක්ස් ඉන්ඩ්‍රස්ට්‍රීස් ප්ලාස්ටික්” ආයතනය ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්ව සිටී.

    වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මහින්ද අමරවීර මහතා පවසයි.

    Latest News