සීඑස්එන් පරීක්ෂණ සියල්ල යෝෂිත අපරාධමය කරුණකට ඈඳගන්න ගත් උත්සාහයක්; නිශාන්ත රණතුංග

ඔක් 27, 2020

    සී එස් එන් නාලිකාව සම්බන්ධ පරීක්ෂණ සියල්ල යෝෂිත රාජපක්ෂ මහතා යම් අපරාධමය කරුණකට ඈඳගන්න කරන උත්සාහයක් බව තමාට වැටහුණු බව සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් අද ප්‍රකාශ කළා.

    තමාට දේශපාලන පළිගැනීමක් සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට කරන ලද පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා නිශාන්ත රණතුංග මහතා කොමිසම හමුවට කැඳවා තිබුණා.

    අදාළ පරීක්ෂණ සිදු කළේ එවකට රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල කර තිබූ දේශපාලන පසුබිමක් සහිත යාන්ත්‍රණයේ කොටසක් ලෙස කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළා.

    පසුගිය යහපාලන රජය සමයේදී සීඑස්එන් නාලිකාව සම්බන්ධව විමර්ශනයකට සහභාගි වීමට සිදුවූ බවත් තමාගෙන් හය වතාවක් ප්‍රකාශ ලබාගෙන 2016 ජනවාරි තිස් වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. දින 48 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    තමාගෙන් විශේෂයෙන්ම සීඑස්එන් නාලිකාවේ අයිතිය පිළිබඳව විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කළ බවත් එය රාජපක්ෂ පවුලට අයිති දෙයක් ලෙස තමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ උත්සාහයක් ඇති බව තමාට හැඟී ගිය බවද සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

    යෝෂිත රාජපක්ෂ මහතා ක්‍රීඩා ප්‍රවර්ධනයට සන්නාම කළමනාකරුවකු වශයෙන් සීඑස්එන් නාලිකාව සමග ඇතැම් අවස්ථාවල කටයුතු කළා හැරෙන්නට එහි කොටස් හෝ හිමිකාරිත්වයක් යෝෂිත රාජපක්ෂ මහතාට නොමැති බවද නිශාන්ත රණතුංග මහතා සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා .

    Latest News