විජේ සේදුපති, මුත්තයියා මුරලිදරන් චරිතාපදායනය රඟපෑමෙන් ඉවත්වේ

ඔක් 20, 2020

    ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ සේදුපති දැඩි අන්තවාදී තර්ජන හේතුවෙන් මුත්තයියා මුරලිදරන් චරිතාපදායනය ඇතුළත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් ඉවත්විය. මේ සමඟම එම චිත්‍රපටයේ අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත භාවයක් ඉස්මතු වී තිබේ.

    චෙන්නායි නුවරදී ප්‍රකාශයක් කළ විජේ සේදුපති සිනමා නළුවා කියා සිටියේ “800“ යනුවෙන් නම් කර තිබූ චිත්‍රපට ව්‍යාපෘතියෙන් තමා ඉවත් වූ බවයි. ඒ ගැන තවදුරටත් කතා කිරීමෙන් වළකින ලෙස සේදුපති තමිල්නාඩුවේ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

    800 චිත්‍රපටය තමිල්නාඩුවේ දැඩි කතාබහට ලක්වූයේ එහි ග්‍රාෆික පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ එළිදැක්වීමත් සමඟයි. චිත්‍රපට නිෂ්පාදකයන් පවසන්නේ, මුත්තයියා මුරලිදරන් ටෙස් කඩුලු 800ක කඩඉම පසු කිරීමේ විශිෂ්ඨත්වය කතා තේමාවට පදනම් වූ බවයි.

    මේ සමඟම තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධි ස්ථාවරයක පසුවන අන්තවාදී බලවේග වහා කුපිත වූහ. සැමවිටම ශ්‍රී ලංකාවට විරෝධය දක්වන එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ මහලේකම් වයිකෝ, මුරලිදරන් ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

    ඔහු සඳහන් කළේ, විජේ සේදුපති නළුවා මුරලිදරන්ගේ චරිතය රඟදැක්වීම ද්‍රෝහි ක්‍රියාවක් බවයි.

    තවත් ශ්‍රී ලංකා විරෝධියෙකු වන රාම්දාස් නමැත්තා, විජේ සේදුපති මේ චිත්‍රපටයට සම්බන්ධවීම ගැන තමා කම්පා වන බව කියා සිටියේය. එමෙන්ම, ශ්‍රී ලංකා විරෝධි චිත්‍රපට අධ්‍යක්‍ෂ සෙබස්තියන් සීමන් ප්‍රකාශ කළේ, මුරලිදරන් වැන්නෙකු ගැන තමිල්නාඩුවේදී චිත්‍රපටයක් බිහිවීම පුදුමයට කරුණක් බවයි.

    විරෝධය උත්සන්න වෙද්දී මුත්තයියා මුරලිදරන් ලිපියක් මගින් තම ස්ථාවරය පැහැදිළි කළේය. තමා යුද්ධය අවසන්වීම ගැන සතුටට පත් වන්නේ, ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉන් සිදුවූ විනාශය පැහැදිලිව අත්දුටු නිසා බව මුරලිදරන් තම ලිපියෙන් කියා සිටියේය.

    කෙසේ වෙතත්, තමිල්නාඩු අන්තවාදීන්ගේ විරෝධය තවදුරටත් පැවතිණ. එහි උච්චතම අවස්ථාව වූයේ කිසියම් පුද්ගලයෙකු ට්විටර් සටහනක් තබමින් විජේ සේදුපති නළුවාගේ බාල වයස්කාර දියණිය පැහැරගෙන දූෂණය කරන බවට තර්ජනය කිරීමයි.

    මුත්තයියා මුරලිදරන් යළිත් ලිපියක් යොමු කරමින්, චිත්‍රපටයෙන් ඉවත්වන ලෙසට විජේ සේදුපතිගෙන් ඉල්ලා සිටියේය. දකුණු ඉන්දීය කලාකරුවෙකුගේ අනාගතය තමා නිසා හානියට පත්වනු දැකීමට කිසිදු අභිලාෂයක් නැතැයි මුත්තයියා එමගින් කියා තිබේ.

    සේදුපති ඊට ස්තුතිය පළකර තිබිණ. එහෙත්, තමිල්නාඩුවේ ඇතැම් සිනමා අධ්‍යක්‍ෂවරු මේ අන්තවාදයට විරුද්ධත්වය දක්වා තිබේ.

    ජනප්‍රිය නළු හා දේශපාලනඥ සරත් කුමාර් ප්‍රකාශ කර ඇත්තේ, කලා ක්‍ෂේත්‍රයට දේශපාලන මැදිහත්වීම් බෙහෙවින් වැරදි සහගත බවයි. චිත්‍රපට නිෂ්පාදක පෙරරාසු ද අන්තවාදී විරෝධය ගැන දොස් පවරා තිබේ.

    Latest News