දූෂණ විරෝධී කමිටුව ගැන රනිල්ගේ සාක්ෂිය අසත්‍යයක් - අනුර කුමාර (වීඩියෝ)

සැප් 28, 2020
  • හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි දූෂණ විරෝධී කමිටුව පිහිට වූයේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට වූ සඳහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

    ඒ, දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාගේ පැමිණිල්ල දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී.

     

    ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව දූෂණ විරෝධී කමිටුව පිහිට වූ බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ලබාදී තිබෙන සාක්ෂි මුළුමනින්ම අසත්‍යයක් බවයි. එහිදී දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගෙන් විමසා සිටියේ,

     

    දූෂණ විරෝධී කමිටුව 2016 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල පිහිට වූ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳව ඔබ දන්නවාද යනුවෙන්.

     

    ඊට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක මහතා, "මා ඉතාමත්ම වගකීමෙන් සඳහන් කරන්නේ 2015 ජනවාරි මාසේ 8 වැනිදායින් පස්සේ තමයි මම ජාතික විධායක සභාවට සහභාගි වුණේ." දූෂණ විරෝධී කමිටුව ගැන ඔබට යම් අදහසක් තියෙනවද? නීතිඥවරයා විමසුවා.

     

    "මා ඔහුගේ සාක්ෂි මත පමණක් පදනම් වන්නේ නැහැ.වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් ඉදිරිපත් කර තිබූ සටහන්වල යම් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් සංදේශය සහ හිටපු අගමැතිවරයා ලබාදුන් සාක්ෂිය යන දෙක මත පදනම්ව තමයි මේ පිළිබඳව මම අදහස් පල කරන්නේ" යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළා.

     

    ඒ මහතා තවදුරටත් කියා සිටියේ, "එම සාක්ෂියේ මා දැක්කා මෙය ජාතික විධායක සභාවේ අනුමැතියට ලක් කලා කියලා හිටපු අගමැතිවරයා කියලා තියෙනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්."

     

    එහිදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙවැනි කැබිනට් පත්‍රිකාවක් මා දකින්නේ පළමුවරට වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ ලිපි ගොනුවෙන් පමණක් බවයි. ජාතික විධායක සභාව වැනි කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව සාකච්ඡාවක් කළාද යන්න නීතිඥවරයා ඔහුගෙන් විමසා සිටියා.

     

    "කිසිදු සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. මා සහභාගි වූ කිසිදු අවස්ථාවක එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුනේ නැහැ" දිසානායක මහතා පිළිතුරු දුන්නා.

     

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ "හිටපු අගමැතිතුමාගේ සාක්ෂි සටහනේ කොතැනකවත් කියවෙන්නේ නැහැ එය විධායක සභාවට ඉදිරිපත් කළේ කා විසින්ද කියලා. ජාතික විධායක සභාවේ ප්‍රධානියා තමයි ජනාධිපතිතුමා. එය ජාතික විධායක සභාවේ අනුමැතියට ලක් වූ එකක් නම් එය යා යුත්තේ ජනාධිපතිතුමා හරහා බවයි මගේ විශ්වාසය. කිසිදු කැබිනට් පත්‍රිකාවකට අදාළ ලේඛනයක් ජාතික විධායක සභාවට ඉදිරිපත් වුනේ නැහැ."

     

    කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසුවේ කැබිනට් පත්‍රිකාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික විධායක සභාවේ අනුමැතිය ඇතිව කියලා එවැනි වචනයක් කැබිනට් පත්‍රිකාවට යෙදීම තුළින් කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා දෙන්න හදපු දැනුම්දීම කුමක්ද යන්නයි.

     

    "මට හිටපු අගමැතිතුමාගේ මනස ඒ තරම් හොඳින් කියවන්න බැහැ, කාටත් බැහැ" ඊට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

     

    එහිදී අර්ථකථන දෙකක් පැනනගින බවත් ජාතික විධායක සභාවේ අනුමැතිය නිසා දූෂණ විරෝධී කමිටුව පිහිටවූ බව හෝ එසේත් නැත්නම් මම නෙවෙයි මේක පිහිටුවේ ජාතික විධායක සභාව යනුවෙන් පැවසිය හැකි බවත් ඔහු එහිදී කියා සිටියා.

     

    දූෂණ විරෝධී කමිටුව වැනි කමිටුවක සාමාජිකත්වය තමාට ලබා දෙන්න යැයි හෝ එවැනි කමිටුවකට පත් කරනවාට අකමැත්තක් නැති බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති දැයි නීතිඥවරයා විමසුවා.

     

    මෙවැනි කමිටුවකට තමා ඇතුළත් කළ යුතු ද වැනි යෝජනාවක් හෝ නොමැති බව සඳහන් කළ දිසානායක මහතා, "සතියක් තුළ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවක මගේ නම සදහන් ද කියලා මා දන්නේ නැහැ, මා මෙය දුටුවේ නැති නිසා අගමැතිතුමාට එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නට මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.

     

    දුෂණ විරෝධී කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ සම්බන්ධීකාරක ලෙස තමාව පත් කිරීම සම්බන්ධයෙන් කරුණු කිසිවක් නොදන්නා බවත් , තමා කිසිදු දිනක එය නියෝජනය කිරීමක් හෝ   සම්බන්ධීකරණය කිරීමක් නොකළ බවද කොමිසම හමුවේ සාක්කි දෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා 

     

    මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිට වූ  දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ තමා සාමාජිකයෙකු ලෙස පත්කර ඇතැයි තමා නොදැන සිටි බව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද ප්‍රකාශ කළා.

     

    තමා කිසි විටෙක දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්‍යාලයේ රැස්වීම්වලට සහභාගී වී නොමැති බවත් මලික් සමරවික්‍රම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

     

    සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් ජයවීර මහතාද කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සංවර්ධන අධිකාරිය විසින් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේ දී අසත්‍ය චෝදනා ගොණු කර නඩු පැවරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදුකර ඇති බවටයි ජයවීර මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ.

     

    කොමිසම හමුවේ පෙර සාක්ෂිවල අනාවරණය වූ පරිදි අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සම්බන්ධ ගෙවීම් හා සේවා ලිපි සම්බන්ධයෙන් අදත් කොමිසම හමුවේ කරුණු අනාවරණය වුණා. තුසිත් මුදලිගේ මහතා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් අමාත්‍ය මණ්ඩලයෙන් ලැබී තිබූ අනුමැති කාලසීමාව අවසන් වූ පසුවත් දූෂණ විරෝධී කමිටු කාර්යාලය පවත්වාගෙන යාමට වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බව ජයවීර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව රජයේ දේපල සාපරාධී ලෙස පරිහරණය කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 20:19

    Latest News