පාස්කු ප්‍රහාරය ගැන හඬ පටයක් එළියට (වීඩියෝ)

සැප් 14, 2020
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවූ විශේෂ දුරකතන සංවාදයක හඬ පටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළේය. 

    එමෙන්ම නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනය ද වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාරයට ගන්නා ලෙස කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.

    නිලන්ත ජයවර්ධන මහතා සාක්‍ෂි ලබාදීමට අද පැමිණියේ 22 වැනි දිනටයි.  එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කළේ මීට පෙර කොමිසමේ දී සඳහන් කළ පරිදි ඔහු සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර ඇතිවූයේ යැයි පැවසෙන දුරකතන සංවාදය විවෘත කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි. කෙසේ වෙතත් එම නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉල්ලා සිටියේ, අදාළ හඬපටය සම්බන්ධයෙන් සාක්‍ෂි විමසීම සිදු කරන්නේ නම් එය මාධ්‍ය නොමැතිව සිදුකරන ලෙසයි.

    එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති කොමිසම දුරකතන සංවාදය කොමිසම ඉදිරියේ විවෘතව වාදනය කරන ලෙස නියෝග කළේය.  පටිගත කරන ලද සංවාදයේ සම්පූර්ණ කාලය මිනිත්තු 25යි. තත්පර 04ක්.

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “සර් අපි මේක දැනගෙන හිටියා.  මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා ස්ටේට්මන්ට් එකක් දුන්න එකයි වැරැද්ද.  මම ස්ටේට්මන්ට් දෙන්න ගියේ නැහැනේ“.

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “හොඳයි, ඔයා කියන්න මාව දැනුවත් කළ ාකියලා.  මම අයි ජී ව දැනුවත් කරලනේ තිබ්බේ“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “සර්ට මම 07 වැනිදා දැනුවත් කළාම වෙල් රිසිව්ඩ් කියලත් සර් එව්වනේ“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්ව නැත් එකනේ.

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “මගෙන් ඇහුවේ නෑ ජනාධිපතිට කිව්වද කියලා. පත්තරවල යන්නේ ජනාධිපතිතුමාට නොකීම ප්‍රශ්නයක් කියලා. කොහොමටත් මම කිව්වේ නැහැ“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “හරි ඔයා කිව්වෙත් නෑ...මම කිව්වෙත් නෑ“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “දැන් ජනාධිපතිතුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ.  එහෙම නම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නෑ...ඒක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ.  මේක ලොකු ඉෂු එකක් වෙන්නේ නැහැ.  පත්තරවලින් තමයි, මේක ඉෂු එකක් කරලා තියෙන්නේ.  ඇත්තටම මේක පොලිටිකල් ඉෂු එකක්“



    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “වැරදි කාගේ අතිනුත් වෙනවා.  දැන් මේගොල්ලෝ මාව ඇරස්ට් කරන්න යන්නේ.  මම ආරක්‍ෂක ලේකම් ධූරයෙන් අයින් වුණා“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “අයි ජී රිසයින් වුණාද“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “නැහැ...අයි ජී යන්නේ නැහැ කියලා අපි දෙන්නටම ගහන එක හරි නෑ“



    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “සර් මම හිතන්නේ, සර් ජනාධිපතිතුමා හම්බ වුනොත් හොඳයි නේද?“ 

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “නැහැ, ජනාධිපතිතුමා හම්බවෙන්නේ නැහැ.  මම ඉතාමත් සුහදව කතා කරලා ඇවිල්ලා පහුවෙනිදා ඉදලා තමයි එයා මට ගහන්න පටන් ගත්තේ.  ඒ වෙලාවේ සද්ද නැතිව හිටියනං ඉවරයිනේ“



    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “මම මේකට හිරවෙලා ඉන්නේ හැම පැත්තෙන්ම.  මට ගහනවා ජනාධිපතිගේ ගෝලයා කියලා.  මාව අයින් කරන්න ඕනේ කියනවා.  දැන් ඔතන මහේෂ් සේනානායක මහත්තයත් කියනවා දන්නේ නැහැ කියලා“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “ඔව් ඒකනේ, එයාලා මේ ගැන කතා කරපු සාකච්ජාවේ හිටියනේ“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “09 වැනිදා අයි ජී ට කිව්වට පස්සේ, 16 වැනිදා කාන්තන්කුඩි පිපිරිමෙන් පස්සේ සහරාන්ගේ ඩ්‍රයිරන් එකක් කියලා රිපෝට් තුනකුත් ගැහුවා.  20 හවසත් කිව්වා.  පංචිකාවත්ත, කොච්චිකඩේ බලන්න කිව්වා.  හෝටල්වලට ගහනවා කියලත් මම කිව්වා.  කාටවත් කියන්න බැහැ මම දන්නේ නැහැ කියලා.  07 වැනිදා ඉඳලා මට මේක ලෙඩක් කියලා තේරුණා“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “ඒ වෙලාවේ ඔයා මට කිව්ව නම් අයි ජීට කියන්න මේ මේ දේවල් කරන්න කියලා“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “සර් මම කිව්වේ නැහැනේ කොළඹට ගහනවා කියලා.  මම නිශ්චිත තොරතුරු දුන්නා. අනික සර් කියන්න ඔනේ නෑ අයි ජී ට අතනට රෝඩ් බ්ලෝක් දැන්න, මෙතට රෝඩ් බ්ලොක් දාන්න කියලා. හැබැයි සර් ජනාධිපතිතුමාට නොකිව්ව එක ගැන නම් පොඩි අවුලක් තියෙනවා.  හැබැයි අපි මේ ගැන නොකිව්වාට බිග් පික්චර් එක ගැන 2015 ඉඳලම කියලා තියෙන්නේ“.

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “අපි දෙන්නගේ සුහදතාවයටවත් ඔයා මට කිව්වා නම් අරූට කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර හරහා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා.  පල්ලිවලට ගහනවා, මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා. එහෙම කරානම් අපි ඔක්කොම බේරිලා“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඕක කරේ නැහැ කියන එකනේ.  හැමෝම මේකෙන් දේශපාලන වාසි ගන්න හදනවා.  මට හිතෙන තරමට නම් අපි 09 වැනිදා රැස්වීමේදී මේක ගත්තා මදි.  දැන් ඔය නැහැ කිව්වට මම චූලට කිව්වා.  එයා බ්‍රිෙග්ඩියර් කෙනෙක් වුණාට අයිසේ මේ ගැන තොරතුරු හොයනවා කියලා“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “එයා එක දවසක්වත් සහරාන්ලා ගැන කියලා නැහැ.  එයා කතා කරන්නේ වෙන, වෙන දේවල් ගැන. පත්තරවලින් බලලයි එයා තොරතුරු කියන්නේ“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “ චූලා කියනවා එයා දන්නේ නැහැ කියලා.  අඟහරුවාදා රැස්වීමේ එයා හිටියා. සිසිර මෙන්ඩිස් මහත්තයා ඇහැව්වා මල්ලි මේකට මොකද කරන්නේ කියලා.  මම කිව්වා පිස්සු කෙලින්න එපා සර් ඕක ලෙඩක් ඕක දාන්න කියලා“

     

    හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

    “සී එන් අයි ට වැරැද්දක් එනවාද? ආමි එකට, නේවි එකට කිව්වේ නැහැ කියලා. එයා ඉතින් කොහොමත් යන්න බලන් ඉඳපු කෙනානේ“

     

    හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා…

    “එයා ඉතින් කිව්වා නම් අඟහරුවාදා රැස්වීමේදී කතා කළා කියලා එයා නිදහස්“.

     

    දුරකතන සංවාදය වාදනය කිරීම අවසානයේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ ඔබ මෙම සංවාදය පටිගත කිරීමේ අරමුණ කුමක් ද යන්නයි.

     

    ඊට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු තොරතුරු ලැබී තිබියදී දැනුම් නොදුන්නේ යැයි රාජ්‍ය බුද්ධි සේවයට සහ එවකට එහි අධ්‍යක්‍ෂකව සිටි තමන්ට පාර්ශව ගණනාවක් චෝදනා එල්ල කළ බැවින් තමාගේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ කීර්තිනාමය රැක ගැනීමට සාක්‍ෂි අවශ්‍ය වූ බැවින් මෙම දුරකතන සංවාදය පටිගත කළ බවයි.

     

    ප්‍රහාරය හා සම්බන්ධ තවත් දුරකතන සංවාද ඇත්දැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේය.  මීට පෙර කොමිසමට ඉදිරිපත් කළ හඬපට හැරුණු කොට තවත් එකක් ඇති බව ජයවර්ධන මහතා පැවසුවේය.  ඒ අනුව, ඔහුගේ පෞද්ගලික දුරකතන සහ ලැප්ටොප් පරිගණකය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට බාරදෙන ලෙස සභාපති විනිසුරුවරයා නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කළේය.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 20:15

    Latest News