අත්අඩංගුට ගත් වෙබ් මාධ්‍යවේදියා තවදුරටත් රිමාන්ඩ්

සැප් 14, 2020

    අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රවෘත්තිය පළ කිරීම සඳහා උපයෝගී කර ගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ දුරකථනය සොයාගෙන ඇති බවය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම පරිගණකය සහ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කළා.

    මෙම ප්‍රශ්නගත ප්‍රවෘත්තිය පළ කළ වෙබ් අඩවියේ මුරපදය මේ වන විට මාරු කර ඇති නිසා විමර්ශන කටයුතුවලට බාධාවක් සිදු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ.

    මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඇප ඉල්ලිමක් ඉදිරිපත් කළත් එම ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් වරයා විසින් ප්‍රතික්ෂේප කළා.

    අනතුරුව සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    Latest News