නාකොටික් නිලධාරීන් 18 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

අගෝ 04, 2020
  • නාවික හමුදාව, අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදුන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 281ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 46කට වැඩි ප්‍රමාණයක්, දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අවභාවිතයට ලක්කර ඇතැයි, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.

    මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීමේ සිදුවීම්වලට අදාළ සැකකරුවන් සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්‍ෂි සම්පිණ්ඩනයක් අද දින වාර්තාවක් ලෙස ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

    අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි, සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා සම්බන්ධ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර සැකකරුවන් 13 දෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

    නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන බාරදුන් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් එක් එක් සැකකරුවන් රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 17 දක්වා මුදල් උපයා ඇති ආකාරය විමර්ශනවලින් හෙළි වී ඇති බව දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    ඔවුන් අතර සිටින පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග නැමැත්තා භාරයේ තිබී සොයාගත් වාහන 04ක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයාගේ නිරීක්‍ෂණ ලැබී ඇති බවත් අද අධිකරණය දැනුම් දුන්නේය. වාහනවල ඉදිරිපස, වම්පස අසුනේ යට සහ අමතර රෝදය රඳවන ස්ථානයේ මත්ද්‍රව්‍ය හා මෝෆීන් සලකුණු ඇති බවට රජයේ රස පරීක්‍ෂකවරයා නිරීක්‍ෂණවල දක්වා ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    වැටලීම් සඳහා අදාළ වාහන යොදා ගත්තේ නම්, රහසිගත ස්ථානවල ඒවා සඟවා රැගෙන යාමට අවශ්‍යතාවක් නොතිබූ බව, ඔහු අවධාරණය කළේය.

    ඒ අනුව මෙය සැක කටයුතු තත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව සැකකරුවන් ගිනි අවි ද ජාවාරම් කර ඇති බව හෙළි වූ බවත්, එසේ ගෙන්වන ලද ගිනි අවියක් ලයනල් ජයරත්න නමැති සැකකරු භාරයේ තිබී සොයාගත් බවත් ප්‍රකාශ කෙරිණ.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, එම ගිනි අවියට සමාන තවත් ගිනි අවි 04ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්තිඩිය ප්‍රදේශයේ ලඳු කැලෑවක දමා තිබියදී ඉකුත් සෙනසුරාදා සොයා ගනු ලැබූ බවයි. මෙම ගිනි අවි අපරාධ ක්‍රියා සඳහා යොදාගෙන තිබේද යන්න විමර්ශනය කෙරෙන බව ඔහු සඳහන් කළේය. දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කෙරුණු හෙරොයින් පැකට් 23න් 22ක්ම කපා ඉවත්කර ඇති බවට රජයේ රස පරීක්‍ෂකවරයා නිරීක්‍ෂණය කර ඇති බවයි.

    කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, සැකකරුවන් 13 දෙනා අගෝස්තු 18 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළාය.

    Last modified on අඟහරුවාදා, 04 අගෝස්තු 2020 20:18

    Latest News