ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි - ''මතින් දුමින් නිදහස් නිරෝගී ශ්‍රී ලංකාවක්''

මැයි 31, 2020

    ලෝක දුම් වැටි විරෝධී දිනය අදට (31) යෙදී ඇත. ''මතින් දුමින් නිදහස් නිරෝගී ශ්‍රී ලංකාවක් '' බිහි කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය ඉදිරියේදී තව තවත් කැපවී කටයුතු කරන බව අවධාරණය කෙරේ.

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි , දුම් වැටි හා දුම්කොල භාවිතය අධෛර්‍යමත් කිරීමට රජය විසින් විශේෂ වැඩපිලිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    වර්තමානයේ මේ තත්වය වඩාත් වැඩි ගැටලු ඇතිකරවයි.දුම්වැටි ඉරීමේදී ශ්වසන පද්ධතිය රෝගී වීම නිතැතින්ම සිදු වෙයි. දුම්කොල සහිත විට කෑමෙන් පසු තැන තැන කෙල ගැසීමේ පුරුද්ද නිසාත් කොවිඩ් -19 රෝගය පැතිර යාමට ඇති ඉඩ කඩ වැඩි වන බව ඇය පෙන්වා දෙයි.

    එසේම දුම් පානය කරන පුද්ගලයෙකුට කොවිඩ් -19 රෝගය වැලඳුනහොත් ජීවිතය බේරා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම අඩු බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දෙයි. දුම් පානය හා දුම්කොල භාවිතය පුද්ගලිකවත්, සමාජයක් සහ රටක් වශයෙන් ගත් කල වුවද ගැටළු රාශියක් ඇති කරවයි.

    අමාත්‍යවරිය මෙම අදහස් පලකළේ, මැයි 31 දිනට යෙදෙන ලෝක දුම්වැඩි විරෝධී දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ ප්‍රවත්ති සාකච්ජාවේදීය.

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි , දුම් වැටි හා දුම්කොල භාවිතය අධෛර්‍යමත් කිරීමට රජය විසින් විශේෂ වැඩපිලිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.අතිගරු ජනාධිපතිතුමා කිසිම දිනක දුම් කොළ හෝ දුම් වැටි භාවිත කල හෝ භාවිත කරන නායකයෙක් නොවේ .එතුමන් රටට ලබා දෙන්නේ සුවිශේෂී පූර්වාදර්ශයකි.ඒ පූර්වාදර්ශ සහ උපදෙස් අනුව යමින් ඉදිරියේදී මතින් -දුමින් නිදහස් රටක් බිහි කිරීමට රජය කැපවන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

    පසුගිය කාල වකවානුවේදී රාජ්‍ය ආයතන සේම රාජ්‍ය නොවන සංවිධානද දුම් වැටි උවදුරෙන් ජනතාව ගලවා ගැනීමට සක්‍රියව කටයුතු කලහ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, බෝ නොවන රෝග ඒකකය ,දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය,ඇඩික් ආයතනය, ආදී සංවිධාන ඉන් කිහිපයකි. දුම් කොල හා දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාකල සෞඛ්‍ය අමාත්‍යවරුන්ද රාජ්‍ය නායකයින්ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. මතින් -දුමින් නිදහස් රටක් බිහි කිරීමේ ජාතික ඉලක්කය වෙත ගමන් කිරීමට එක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා රජය වෙනුවෙන් ආදරයෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය ඇමතිවරිය පැවසුවාය.

    Latest News