කොවිඩ් 19; තවත් 21ක් අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත (වීඩියෝ)

මැයි 18, 2020
  • කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 21 දෙනෙකු අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගියේය.

    මේ අතර රෝගය වැළඳුණු තවත් පස් දෙනෙකු අද වාර්තා විය. ඒ අනුව, රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 418ක්.

    කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 559 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද වනවිට සුවය ලැබූ පිරිස 56% ක්. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 42ක්. මරණ ප්‍රතිශතය වාර්තා වන්නේ 0.91% ක් ලෙසයි.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු තවත් 21 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබීය. ඔවුන්ගෙන් 19 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්. අනෙක් දෙදෙනා පසුගියදා ලන්ඩන් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පිරිසක් ඊයේ සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. එම පිරිසට 18 දෙනෙකු අයත්. ඔවුන් ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ පවුල්වලට අයත් පිරිසක්. නිරෝධායන කාලසීමාව අවසන් බවට ලබාදෙන සහතික පත්‍රය ද ඔවුන්ට මෙහිදී පිරිනැමිණ. නිරෝධායන කාලසීමාව අවසන් වී නිවෙස්වලට ගිය පසු ඔවුන් තවදුරටත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව වාර්තාවේ.

    හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ, නිරෝධායන කටයුතු අවසන් කළ 52ක ගෙන් යුත් පළමු කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව ගියේය. නිරෝධායනය වෙමින් සිටි පිරිස 259ක්. අද නිවෙස් බලා ගිය කණ්ඩායමට එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබමින් සිට මේ මස 04 වැනිදා දිවයිනට පැමිණි සිසුන් 46 දෙනෙකු ද වෙනත් පුද්ගලයන් සිව් දෙනෙකු සහ කුඩා දරුවන් 2ක් ද මීට අයත්වූහ.

    මන්නාරම නච්විකුඩා නාවික හමුදා මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කළ විසි දෙදෙනෙකු අද පිටව ගියේය.

    වෙනත් රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාව අමතන්න ද්වාරයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 38,983කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන අපේක්‍ෂාවෙන් පසුවේ. ඔවුන් අතර රටවල් 143ක සිසු-සිසුවියන් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් සංක්‍රමණික ශ්‍රමිකයන්, ඔවුන්ගෙන් යැපෙන්නන් සහ ද්විත්ව පුරවැසියන් ද වේ. අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනාගැනීම සහ ප්‍රමුඛතාව ලබාදීම මත ඔවුන් නැවත ගෙන්වා ගැනීම සිදු කෙරේ. එලෙස අද වනවිට රටවල් 15ක 3,600ක් මෙරටට ගෙන්වා ගෙන තිබේ.

    Last modified on සදුදා, 18 මැයි 2020 20:29

    Latest News