කොවිඩ්-19; සුවය ලැබූ සංඛ්‍යාව 382ක්

මැයි 13, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් රෝගීන් 16 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.

    ඒ අනුව, රෝගය වැළඳී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගොස් තිබේ.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයන් සිව් දෙනෙකු අද මෙරටින් වාර්තාවිය. ඒ අනුව අද වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 502ක්. පී සී ආර් පරීක්‍ෂණ 1,078ක් ඊයේ සිදුකර තිබෙ.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඊයේ දිනය තුළ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 23ක්. රෝගය වැළඳුණු බවට ඊයේ දිනය තුළ හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 20ක්. ඔවුන්ගෙන් 18 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්. ආරක්‍ෂක අංශ සාමාජිකයෙකුගේ ආශ්‍රිතයෙකු වන වයස අවුරුදු 72ක කාන්තාවක් ද හඳුනාගත් රෝගීන් අතර වේ. පසුගියදා ඩුබායි සිට පැමිණි පුද්ගලයන්ගෙන් තවත් අයෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව ඊයේ තහවුරු විය.

    කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ. ඔවුන් බේරුවල, ජා ඇල සහ කෙසෙල්වත්ත ශ්‍රීමත් බණ්ඩාරනායකක මාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

    කාත්තන්කුඩි මූලික රෝහලේ මෙතෙක් ප්‍රතිකාර ලැබූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 62ක්. පසුගිය 11 වැනිදා සුවය ලැබූ 55 දෙනෙකු රෝහලෙන් පිටව ගියේය. ඒ අනුව එම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකු පමණි.

    නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් 129 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියේය. ඒ වව්නියාව, පොම්පෙමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට. ඔවුන් අවිස්සාවේල්ල, තණමල්විල හා කොළඹ තදාසන්න ප්‍ර දේශවල පදිංචිකරුවන්. දෙසතියක කාලයක් යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ ඔවුන් නිරෝධායනයට ලක්විය.

    දම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි තවත් පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කර සිවෙස් බලා පිටව ගියේය. එම පිරිසට 66 දෙනෙකු අයත්. ඔවුන්, කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ වාර්තා වූ රෝගීන් සමීපව ආශ්‍රයකළ පුද්ගලයින්. කොළඹ 60 වත්ත, නාරාහේන්පිට සහ රාජගිරිය යන ප්‍රදේශවල සිට මෙම පිරිස නිරෝධායනයට යොමු කර ඇත.

    අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ පිරිසක් ද නිවෙස් බලා පිටව ගියේය. ඔවුන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් කිහිප දෙනෙකුගේ සමීපතම ආශ්‍රිතයන්. පිරිසට 16 දෙනෙකු අයත්.

    ඇඳිරි නීතිය පැනවීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ අතරමංව සිටි දෙදහසකට පමණ පිරිසක් සිය ගම් බලා අද පිටත්ව ගියේය. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් නොමිලයේ ලැබුණු අතර, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදවලට අනුකූලව එය සිදු කෙරිණ.

    ගම්පහ නගර සභා ක්‍රීඩා පිටියට අද උදේ පැමිණි පිරිස ගාල්ල, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මාතර, පුත්තලම, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිිහිපයකට පිටත් කරනු ලැබීය. වැඩසටහන සම්බන්ධීකරණය කළේ, අග්‍රාමාත්‍ය කාර්යාලයයි.

    මෙරට රැඳී සිටි විදේශිකයන් පිරිසක් හා තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ දෝහා අගනුවර බලා පිටත්ව ගියේය. එම පිරිසට 110 දෙනෙකු අයත්. ඔවුන් කටාර්හි දෝහා අගනුවර වෙත යාමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරිමට නියමිතයි. එම ගුවන් මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇතුළු කර ගනු ලැබුවේ විශේෂ විෂබීජානුහරණ ක්‍රියාවලියක් සහ උෂ්ණත්ව පරීක්‍ෂණයකින් අනතුරුවයි.

    නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් පිරිසක් අද පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය. එම පිරිස 127 දෙනෙකුගෙන් සමන්විතයි. දින 14ක නිරෝධායන කාලසීමාව නිමකර, පී සී ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කරනු ලැබීය. ඔවුන් සියලු දෙනාම ඉන්දියාවේ බැංගලෝර්හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර මෙරටට පැමිණ ඇත.

    Latest News