පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් දීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් දිනයක්

ජන 06, 2020

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ මස 07 වැනිදා හෝ 08  වැනිදා ප්‍රකාශ ලබා දීමට සූදානම් යැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කියා සිටියේය.

    පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කැඳවු අවස්තාවේ දි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මේ බව පැවසිය.

    පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවවළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ඇති බව පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලිසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේය.

    ඊට අමතරව අසාත් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන මහතුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇති බවයි ඔහු කියා සිටියේ.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට හෝ අනිද්දා දින ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසිය. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා තවමත් දින ලබාදී නොමැති බවත් කියා සිටියේය.

    පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 22 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    Latest News