පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 2ක්..මියගිය අය සිහිකර විනාඩි 2ක නිහැඩියාවක්

අප්‍රේ 21, 2021

    ජීවිත රැසක් අහිමි කරමින් ශ්‍රී ලාංකේය ජනතාව තුළ යළිත් ත්‍රස්තවාදයේ භීතිය ජනිත කළ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවට අදට දෙවසරක් සම්පූර්ණ වෙයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් අප්‍රේල් 21 බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    දේවස්ථාන තුනක් සුඛෝපභෝගී හෝටල තුනක් ඇතුළු ස්ථාන 8ක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 269 දෙනෙක්.  අද වන විට අන්තවාදී කල්ලි නායකයෙක් වූ නවුෆර් මව්ලවි නමැත්තා මෙම ප්‍රහාරයේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස හඳුනාගෙන ඇතැයි පොලීසිය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.  ඒ අනූව ඔහු ඇතුළුව ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනාට එරෙහිව නුදුරු දිනයේ දී අධි චෝදනා ගොනු කරන බවයි නීතිපතිවරයා ඊයේ කියා සිටියේ.

    කතෝලික ජනතාවගේ උතුම් දිනයක් ලෙස සැලකෙන පාස්කු ඉරු දින උදෑසන දේව මෙහෙය පැවැත්වෙමින් තිබිය දී කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියෝන් දේවස්ථානය ලෙයින් තෙත් කරමින්, බෝම්බ පුපුරා ගියේය.  ඒ අතරවාරයේ කොළඹ නගරය ද භීතියට පත් කරමින් ෂැංග්රිලා,කිංස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුඛෝපභෝගී හෝටල් තුළට ද මරාගෙන මැරෙන අන්තවාදී ත්‍රස්තවාදීන් කඩා වැදුණේ පාස්කු ඉරු දින උදෑසන ආහාරය ගනිමින් සිිටි දෙස් - විදෙස් පිරිස් ඉලක්ක කරගෙනයි.

    2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සැහැල්ලුවෙන් සතුටින් හා සාමකාමීව දිවි ගෙවූ ශ්‍රී ලාංකීය ජනතාව නැවත වරක් භීතියෙන් මුසපත් කිරීමට මේ ප්‍රහාර මාලාව සමත් විය.

    කිසිවෙක් අපේක්ෂා නොකළ මොහොතක සිදුවූ මේ ප්‍රහාර මාලාවෙන් රටවල් 14කට අයත් විදේශිකයන් 46 දෙනෙක් ඇතුළු 269 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්විය.  තුවාල ලැබූ සංඛ්‍යාව 500ක් පමණ වෙයි.  මඩකලපුව සියෝන්  දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය 45 දෙනා අතරේ සිටි පුද්ගලයින්ගෙන් 14 දෙනෙක් කුඩා දරුවන්.  ෂැංග්රිලා හෝටල් පරිශ්‍රයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් සිය බෝම්බ පුපුුරුවා ගත්තේය.  අනෙකුත් ස්ථානවල පුපුරා ගියේ එක් බෝම්බයක් බැගින්.  සිය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ තවත් බෝම්බකරුවෙක් දෙහිවල සත්වෝද්‍යානය ආසන්න ලැගුම්හලක දී සිය බෝම්බය පුපුරුවා ගත්තේය.  ප්‍රහාරය පිළිබඳ මූලික විමර්ශන ඇරඹීමෙන් පසු දෙමටගොඩ මහවිල උද්‍යානයේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සිදු කළ වැටලීමක් අතරතුර තවත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුවිය.  එහිදී පොලිස් නිලධාරින් දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූ අතර එම නිවස පාස්කු ප්‍රහාර මාලාවට ආධාර අනුබල ලබාදෙමින් විශාල මුදලක් යෙදවූ ව්‍යාපාරික පවුලකට අයත් එකක් බව හෙළි විය.

    මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුම එම නිවසේ සිටි වයාපාරිකයාගේ පුත්‍රයින් බවයි එදින හෙළි වුණේ.  එතැන් සිට ආරම්භ වූ විමර්ශනවලට අනූව, ප්‍රහාරයට සෘජුව සබඳතා පැවැත්වූ 40කට වැඩ පිරිසක් පළමු දින 3 තුළ දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා යුද හමුදාව සමත් විය.  මේ දක්වා අත්අඩංගුවට ගෙන සිටින සියයකට වැඩි පිරිසක් අතුරින් බොහෝ දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර තවත් පිරිසක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ විමර්ශන සිදු කෙරේ. 

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 11:59

    Latest News