ලොව හොඳම විද්‍යාඥයා ශ්‍රී ලංකාවෙන් ?

මාර් 30, 2023

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරී පත්ව සිටියි.


    මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

    මහාචාර්ය ජීවන්දරට අමතරව දොස්තර

    1. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දොස්තර සෙබස්තියන් ෂෙපර්
    2. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ දොස්තර මාධ්වී මෙනන්
    3. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ දොස්තර පෙඩ්රෝ පැපොට්ටෝ
    4. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දොස්තර ජෝජ් රොබින්සන්
    5. නිව්කැස්ටල් විශ්ව විද්‍යාලයේ දොස්තර සිමොනේ වෙබ්



    යන වෛද්‍යවරුද මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

    චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.

    ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා මෙම සම්මානය ලැබීමට නියමිතය.

    ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙක් කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.

    සම්මාන උළෙල ලන්ඩන් නුවරදී අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

    මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් 19 වෛරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයාය.

    Latest News