ලෝක විවාහක රූ රැජින ජාතික රූපවාහිනියට

දෙසැ 13, 2019

    2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලයින් ජුරී, අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියාය.

    ඒ, ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහනට විශේෂ ආරාධිත අමුත්තා ලෙස. 1985 වසරෙන් පසු මුල්වරට විවාහක ලෝක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දීමට කැරොලයින් ජුරී පසුගියදා සමත්වූවාය. අද උදේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණි ඇය පිළිගනු ලැබුවේ, සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුමේධ අතුලසිරි, අධ්‍යාපන වැඩසටහන් අධ්‍යක්‍ෂ එරින් විජේකෝන් යන මහත්ම, මහත්මීන් ප්‍රමුඛ නිලධාරීන් විසින්. අනතුරුව කැරොලයින් ජූරී, රූපවාහිනී සංස්ථාවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තැබුවාය. ඇය, සිකුරාදා නුගසෙවණ සජීව වැඩසටහනට එක් වූයේ ඉන් අනතුරුවයි. කැරොලයින් ජුරි සමඟ ඇගේ සැමියා නිශාන්ත දීපාල්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ යන මහත්වරුන් ද වැඩසටහනට එක්වූහ.

    සජීව වැඩසටහන අතරතුර 2020 විවාහක ලෝක රූ රැජින සිතුවමට නැගීමට නිර්මාණ ශිල්පී ගිහාන් සඳනුවන්ට ජාතික රූපවාහිිනිය මෙහිදී අවස්ථාව සලසා දුන්නේය. පසුව එම සිතුවම් කැරොලයින් ජුරී වෙත තිළිණ කළාය. තම ජයග්‍රහණයෙන් පසු ජාතික රූපවාහිිනියට පැමිණීමට ආරාධනා කිරීම පිළිබඳව ඇය ඉමහත් සතුට පළ කළාය. නුග සෙවණ වැඩසටහනෙන් අනතුරුව ඇය රූපවාහිනි ප්‍රවෘත්ති මැදිරිය වෙත ද පැමිණියාය.

    Latest News