ෂින්සෝ අබේ සමුගනී....

ජූලි 12, 2022

    ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද (12) සිදුවුණා.

    ඒ හේතුවෙන් රටවල් රැසක් ජාතික ශෝක දිනයන් ප්‍රකාශයට පත් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ද අද (12) දින ‍ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ඉකුත් 8 වැනිදා නාරා නගරයේ මැතිවරණ රැලියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණා. පොලිසිය, ඒ සම්බන්ධයෙන් 41 හැවිරිදි යමගාමී ටෙට්සුයා නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. “නාරා” හි ජීවත් වන හිටපු හමුදා සාමාජිකයෙකු වූ සැකකරු, තමා විසින්ම නිපදවනු ලැබූ ගිනි අවියක් හිටපු අගමැතිවරයා ඝාතනය යොදා ගත්තා.

    ඔහු සඳහන් කර ඇත්තේ, කිසියම් ආගමික සංවිධානයකට ඇති සම්බන්ධතාවයක් මුල්කර ගෙන මෙම වෙඩි තැබීම සිදු කළ බවයි. එසේම, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ තීරණය ‍මීට වසරකට පෙර ගත් බවත්, ඔහු සඳහන් කර තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් ෂින්සෝ අබේ මහතා, දෙවරක් එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවුවා. ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරය හොබවනු ලැබුවේ ද, ෂින්සෝ අබේ මහතා විසින්. 67 වැනි වියේ පසු වූ ඔහු, 2020 වසරේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් වුණා.

    ෂින්සෝ අබේ මහතා ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ අමාත්‍ය මණ්ඩල මැතිවරණයේ අපේක්ෂ්කයින්ට සහය පළ කිරීමේ රැලියකට සහභාගී වෙමින් සිටියදී ප්‍රහාරයට ලක් වුණා. ඔහුගේ මරණය මුළු ලොවම කම්පාවට පත් කළ අතර, පසුව හෙලිවුණේ ඔහුට ලබා දී තිබූ ආරක්ෂාවේ ගැටලු පැවති බවයි. අබේ මහතාගේ අවසන් කටයුතු, ජපානයේ ටෝකියෝ අගනුවර දී අද (12) සිදුවුණා. ඊට සහභාගී වන්නේ, ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සුළු පිරිසක් පමණයි. අබේ මහතාගේ දේහය ඊයේ රාත්‍රී ටෝකියෝ නුවර බෞද්ධ විහාරස්ථානයකට ගෙන එනු ලැබුවා.

    දහස් ගණන් ජනතාව සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔහුගේ දේහයට අවසන් ගෞරව පුද කළා. අද දිනයේ ඔහුගේ දේහය අග්‍රාමාත්‍ය නිල නිවස, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානයට සහ එරට පාර්ලිමේන්තුවට රැගෙන ගියා. ඉන් අනතුරුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය පවුලේ හිතවතුන් වෙත බාර දෙනු ලැබුවා. ආර්ථික අර්බුදයෙන් ජපානය ගො‍ඩගත් විශිෂ්ටතම දේශපාලන චරිතය ලෙසයි, ෂින්සෝ අබේ සලකනු ලබන්නේ.

    Latest News