යුක්‍රේන ජනපති බටහිර රටවලින් කළ ආයාචනය....

ජන 29, 2022

    තම රටේ ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියක් ඇති නොකරන්නැයි, යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලනවා.

    ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, රුසියානු හමුදා තම දේශ සීමාව ආසන්නයේ රැඳී සිටීම පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා මගින් තම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. බොහෝ බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද පසුගියදා කියා සිටියේ, රුසියාව ලබන මස වනවිට යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කරනු ඇති බවයි. නමුත්, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමක් නොමැති බව, රුසියාව පවසනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලාව්රොෆ් ඊයේ සඳහන් කළේ රුසියාවට යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.

    යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ, රුසියානු හමුදා භටයින් ලක්‍ෂයක් පමණ තම දේශ සීමාව ආසන්නයේ රැඳී සිටීම සාමාන්‍ය දෙයක් බවයි. එමගින් තම රටට විශාල තර්ජනයක් තිබෙන බවට තමා විශ්වාස නොකරන බව ද ඔහු කියා සිටියා. පසුගිය වසරේ ද රුසියාව එම ප්‍රදේශයේ විශාල යුද අභ්‍යාසයක් සිදු කළ බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ මේ බව සඳහන් කළා.

    Latest News