කොරෝනා පිටුදැකීමේ එන්නතක් අමෙරිකාව අත්හදා බලයි

මාර් 17, 2020

    නව කොරෝනා වෛරසය පිටුදැකීමේ එන්නතක් අද පළමු වරට අමෙරිකාවේ දී අත්හදා බලනු ලැබුවා.

    එහි ප්‍රථම මාත්‍රාව ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුට ලබාදුන් බව අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. කොරෝනා එන්නත පිළිබඳ අත්හදා බැලීම් සති 06ක් පුරා සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා නිරෝගී පුද්ගලයන් 45 දෙනෙකු ස්වේච්ජාවෙන් ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. වොෂින්ටන් ප්‍රාන්තයේ සියටැල්හි සෞඛ්‍ය අධ්‍යයන ආයතනය පරීක්‍ෂණය සිදු කරයි. එය මෙහෙයවනු ලබන්නේ අමෙරිකාවේ බෝවන රෝග හා ආසාත්මිකතා පිළිබඳ ජාතික ආයතනයි. නව එන්නත මගින් සිදු කෙරෙන්නේ කොවිඩ් නයින්ටීන් රෝගයට එරෙහිව මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තියක් ගොඩ නැගීමයි. එහෙත් එය, සාමාන්‍ය භාවිතය සඳහා යෙදවීමට පෙර පරීක්ෂණ අදියර ගනනාවක් පසුකළ යුතු බව, විද්‍යාඥයන් සඳහන් කරනවා.

    අමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් රෝගීන් 4,704ක් වාර්තා වන අතර, මරණ 93ක් සිදුව තිබෙනවා. අද දවස තුළ පමණක් රෝගීන් 81ක් ද, මරණ 07ක් ද අමෙරිකාවෙන් වාර්තා වුණා. මේ අනුව රෝග මර්දනය සඳහා පූර්ණ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබාදී තිබෙනවා.

    මේ වනවිට ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 7,478ක්. එක් ලක්ෂ 87 දහස් 391කට රෝගය වැළඳී තිබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 80,843ක්. ඒ අතරින් 7%ක් එනම්, 491ක් අසාධ්‍ය තත්වයේ පසුවනවා.

    රෝගය පිටුදැකීමේ මූලික ක්‍රියාදාමය විය යුත්තේ ආසාදිතවූවන් හඳුනා ගැනීමේ පරීක්ෂණ, සැකකටයුතු පුද්ගලයන් නිරෝධායනය හා ඔවුන් සමඟ සම්බන්ධවූවන් හඳුනා ගෙන ඒ අය පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරිම බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ඇතැම් රටවල් එම පියවර නිසි පරිදි අනුගමනය නොකිරිම නිසා සෞඛ්‍ය තර්ජන උද්ගතවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් සඳහන් කරනවා.

    යුරෝපා සංගමය එහි දේශ සීමාවන් සියල්ල වසා දැමීමට අද සිට පියවර ගන්නවා. රෝගීන් රටින් රට යාම වැළැක්වීම එහි අරමුණයි. දැනට යුරෝපා රටවල් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් එය, 27,980ක්. මරණ සංඛ්‍යාව 2,158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ස්පාඤ්ඤයේ රෝගීන් සංඛ්‍යාව 11,179ක් වන අතර, මරණ සංඛ්‍යාව 497ක්.

    ජර්මනියෙන් රෝගීන් 7974ක් ද, ප්‍රංශ යෙන් 6,633ක් ද වාර්තා වනවා.

    ප්‍රංශයේ මරණ සංඛ්‍යාව 148 දක්වා ඉහළ යාම පිළිබඳව එරට බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

    නිරෝධායන රෙගුලාසි කඩකරන්නන් වහා අත්අඩංගුවට ගෙන දඬුවම් පැනවීමට ප්‍රංශය නීති සම්පාදනය කර තිබෙනවා. නිරෝධායනය මඟ හැරීමට සූදානම්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දීමට රටවල් රැසක් පියවර ගත්තා. ඔවුන්ට එරෙහිව හමුදා බලය යෙදවීමට ජෝර්දාන රජු නියෝග කළා.

    ඊශ්‍රායලය චන්ද්‍රිකා හා සයිබර් තාක්ෂණය යොදා ගනිමින් බුද්ධි අංශ යොදවා සැක කටයුතු පුද්ගලයන් ග්‍රහණය කර ගැනිමට පියවර ගත්තා. 

    අසල්වැසි ඉන්දියාව රෝග ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. සුප්‍රකට ටජ් මහල ඇතුළු සංචාරක ආකර්ශනීය ස්ථාන වසා දැමීමට අද පියවර ගත්තා. එමෙන්ම වන්දනා කරුවන් ලක්ෂ සංඛ්‍යාත වශයෙන් එක්රැස් වන දේවස්ථාන වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. ඉන්දියාව තුළ වෛරසය එළඹෙන ග්‍රීෂ්ම සෘතුව දක්වා රැඳී තිබෙනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කෙරෙනවා. ඉන්දියාවෙන් දැනට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 137ක්. එක් මරණයක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

    අසල්වැසි පාකිස්තානයෙන් රෝගීන් 212ක් හමුවී තිබෙනවා. අද දිනය තුළ අලුත් රෝගීන් 28 දෙනෙකු පකිස්තානයෙන් හමුවුණා. එක් මරණයක් වාර්තා වී තිබෙනවා.

    මැලේසියාවේ කොවිඩ් නයින්ටීන් රෝගය ශීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ එරට රජය දේශසීමා වසා දැමීමට පියවර ගත්තා.

    ඒ සමඟම සිංගප්පුරුව තුළ භාණ්ඩ හිඟයක් හටගනු ඇතැයි බිය පලවී තිබෙනවා. සිංගප්පුරුවට භාන්ඩ ගෙන්වනු ලබන්නේ මැලේසියාව හරහායි.

    මැලේසියාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 673ක් වාර්තා වී ඇති අතර, අද දිනයේ පමණක් හමුවූ රෝගීන් සංඛ්‍යාව 107ක්.

    සිංගප්පුරුවෙන් රෝගීන් 243 දෙනෙක් වාර්තා වනවා.

    Latest News