තව දින 10යි...ඔලිම්පික් ගම්මානය විවෘත කෙරේ

ජූලි 13, 2021

    ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තව ඇත්තේ දින 10ක් පමණයි.

    එය පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර දී ඔලිම්පික් ගම්මානය අද නිල වශයෙන් විවෘත කෙරිණ. ප්‍රථම කණ්ඩායම අද එහි පැමිණි බවයි, ජපාන බලධාරීන් පවසන්නේ.

    ගම්මානය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලසීමාව තුළ රටවල් 206ක් නියෝජනය කරමින් සහභාගී වන 11,500ක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජෛව බුබුළක් ලෙස ක්‍රියාකරනු ඇති. පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දැඩි නීතිරීති යටතේ ගම්මානය ක්‍රියාත්මක වෙයි.

    ඊයේ සිට ජපානයේ ටෝකියෝ අගනුවරට කොරෝනා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සියලුම තරග පාහේ නරඔන්නන්ගෙන් තොරව පැවැත්වීමටයි, දැනට සැලසුම් කර ඇත්තේ. කොරෝනා හේතුවෙන් වසරක් ප්‍රමාද වී පැවැත්වෙන 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මාධ්‍යවේදීන් සහ නිලධාරීන් 80,000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි. 

    ක්‍රීඩා  33ක් සඳහා ඉසව් 339ක් පැවැත්වෙන අතර එය පැවැත්වෙන්නේ ස්ථාන 42කදී.  මෙවර උළෙල හැඳින්වෙන්නේ වඩාත්ම පරිසර හිතකාමී ඔලිම්පික් උළෙල ලෙසයි.  ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතය,පුනර්ජනනීය බලශක්ති භාවිතය ඇතුළු කරුණු රැසක් ඊට හේතු වී තිබේ.  ඔලිම්පික් උළෙලේ සියලුම පදක්කම් නිමවා ඇත්තේ භාවිතයෙන් ඉවත් කෙරුණු ජංගම දුරකථන ලක්ෂ 60කට වැඩි සංඛ්‍යාවක් භාවිත කරමින්.

    උළෙලේ පදක්කම් පිරිනමන පීඨිකා නිමවා ඇත්තේ සාගරයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කරමින් වීම ද විශේෂත්වයක්.                     

    Latest News