ටෝකියෝ ඔලිම්පික් උළෙලට තව දින තුනයි

ජූලි 20, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයට තවත් ඇත්තේ දින තුනක් පමණි.

    එහි මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි. මෙවර පැවැත්වෙන්නේ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 1896 වසරේදී පැවැත්විණ. ඒ, ග්‍රීසියේ ඇතැන්ස් හිදී. 1948 වසරේ ලන්ඩන්හිදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව පළමු වරට සහභාගි විය.

    එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඔලිම්පික් පදක්කම හිමිකර දුන්නේ, ඩන්කන් වයිට්. ඔහු මීටර 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් රිදී පදක්කම හිමිකර ගත්තේය. ඉන් වසර 52කට පසුව ශ්‍රී ලංකාවට යළිත් ඔලිම්පික් පදක්කමක් හිමිකර දුන්නේ, කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ. ඒ, 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී. ඇය එහිදී මීටර 200 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දුන්නාය.

    එදා-මෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් හිමිකර ගත් ක්‍රීඩකයා වන්නේ අමෙරිකාවේ පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්. ඔහු රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමඟ පදක්කම් 28ක් හිමිකර ගෙන තිබේ. රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා ලරීසා ලට්නිනා පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ රන් පදක්කම් 9ක් රිදී පදක්කම් 5ක්, ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 18ක් ලබා ගනිමින්. ෆින්ලන්තයේ මලල ක්‍රීඩක පාවෝ නර්මි රන් පදක්කම් 9ක් සමඟ සමස්ත පදක්කම් 12ක් ලබාගෙන තිබේ.

    අමෙරිකාවේ පිහිනුම් ක්‍රීඩක මාර්ක් ස්පිට්ස් සමස්ත පදක්කම් 11ක් ලබාගෙන ඇති අතර, අමෙරිකාවේ මලල ක්‍රීඩක කාල් ලුවිස් පදක්කම් සටහනේ පස්වැනි ස්ථානයේ පසු වන්නේ, රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කමක් සමඟ සමස්ත පදක්කම් 10ක් හිමිකර ගනිමින්.

    මෑත ඉතිහාස ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුණේ, ජැමෙයිකානු මලල ක්‍රීඩක උසේන් බෝල්ට්. ඔහු 2008, 2012 සහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී රන් පදක්කම් 8ක් හිමිකර ගත්තේය. ඒ මීටර 100, 200 සහ මීටර 100 හතර සහය දිවීමේ ඉසව් නියෝජනය කරමින්.

    පැවති ඔලිම්පික් උළෙල 31 තුළ වැඩිම පදක්කම් හිමිකර ගත් රට බවට පත්ව තිබෙන්නේ අමෙරිකාවයි. රන් පදක්කම් 1127ක් සමඟ ඔවුන් සමස්ත පදක්කම් 2,827ක් හිමිකර ගෙන තිබේ. බ්‍රිතාන්‍ය සමස්ත පදක්කම් 883ක් සමඟ දෙවැනි ස්ථානයේ පසුවන අතර, ජර්මනිය 3 වැනි ස්ථානයේ පසුවේ.

    සමස්ත පදක්කම් 855ක් හිමිකර ගනිමින් එහි සිව්වැනි ස්ථානය ප්‍රංශයටත් පස්වැනි ස්ථානය ඉතාලියටත් හිමිවේ.

    Latest News