ජනපති - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවෙන් නිදහස්

නොවැ 21, 2019

    මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවේ චෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අද නියෝග කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ( 1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක සිවිල් හෝ අපරාධ නඩුක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

    ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමේ නියෝගය නිකුත් කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට නියම කෙරිණ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇපකරුවන් මුදා හැරීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

    එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළේය. හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන තිස් 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පළමුවන විත්තිකරු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 10:56

    Latest News