ජනාධිපතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක සූදානම

නොවැ 15, 2019

    ජනාධිපතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක සූදානම පිළිබඳ වාර්තාවක්......

     

    බදුල්ල

    බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 9 තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 523ක් සඳහා ඡන්ද පෙට්ටි, ඡන්ද ස්ථානාධිපතිවරු, ඡන්ද පත්‍රිකා, පොලීසිය සහ සෙසු කාර්ය මණ්ඩලය පිටත් කර හැරීම අද (15) උදෑසන සිදු කෙරුණා. බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරී දමයන්ති පරණගම මහත්මිය මෙම කටයුතු නිරික්ෂණය කළාය. මෙවර, ජනාධිපතිවරණය සඳහා 2018 නාම ලේඛනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 657,766 දෙනෙකි. මහියංගණය ඡන්ද ප්‍රදේශයේ ඡන්ද කොට්ඨාශ 76ක්, වියලුව 49ක්, පස්සර 62ක්, බදුල්ල 42ක් හාලි ඇල 58ක්, ඌවපරණගම 51ක් වැලිමඩ 61ක්, බණ්ඩාරවෙල 65 ක්, සහ හපුතලේ 59ක් ලෙස මෙම ඡන්ද කොට්ඨාශ ස්ථාපිත කෙරේ. බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 2500ක් යොදවන බව ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ජංගම මුර සේවා, මාර්ග බාධක, යතුරු පැදි ඒකකය හා බුද්ධි සේවාවන් යනාදිය ඇතුළත්ව පොලිසිය විසින් විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත්කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම 16 වැනි දින රාත්‍රී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී සහ බදුල්ල විශාඛා විද්‍යාලයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තැපැල් ඡන්දය ගණන් කිරීම බදුල්ල විශාඛා උසස් විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන18 කදී සහ සෙසු ඡන්ද ගණන් කිරීම බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 47 කදී සිදුකරන බව ද බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.

    අම්පාර

    ජනාධිපතිවරනය සඳහා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යසථාන යැවිම අද (15) පෙරුවරු 9.00ට පමණ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ආරම්භ වූ අතර දහවල් 12.00 පමණ වෙන විට ඡන්ද මධ්‍යස්ථාන 523 සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කළ බව අම්පාර තේරීම් භාර නිළධාරි ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා පැවසීය. මේ සඳහා නිළධාරින් 4727ක්
    යොදවා තිබෙන අතර ඡන්ද මධ්‍යස්ථාන සුදානම් කිරීම ඇතුළු කටයුතු ග්‍රාම නිලධාරින් හරහා සිදුකරන බව ද අම්පාර තේරීම් භාර නිළධාරිවරයා සඳහන් කළේය. ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල වන අලින් පැමිණෙන බවට තොරතුරු ලැබිමත් සමගම එම ස්ථානවලට වනජීවි නිළධාරීන් යොදවා ආරක්ෂාව සළසා තිබෙන බව ද සඳහන් කළේය.

    කුරුණෑගල

    2019 ජනාධිපතිවරණය ඡන්ද විමසීම් සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 956ක් වෙත ඡන්ද පෙට්ටි රැගෙන ගොස් ඇත. එමෙන්ම රාජකාරි නිළධාරින්ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර යවා ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,331,705 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේ දී ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයා පවසයි.

    හම්බන්තොට

    2019 ජනාධිපතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 413ක් සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද (15) උදෑසන ආරම්භ කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය. ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 04කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 413ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද දින සිදු කෙරිණ. හම්බන්තොට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් ද පවත්වනු ලබන හම්බන්තොට සුචි ජාතික පාසල තුළ සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරිණි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රිකයේ ඡන්ද කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500කට අධික ප්‍රමාණයක් හා රාජ්‍ය නිලධාරීන් 4500 ක් යොදවා ඇති බව ද හම්බන්තොට තේරීම් බාර නිළධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේය.

    පුත්තලම

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 411ක් වෙත ඡන්ද පෙට්ටි රැගෙන ගොස් ඇත. එමෙන්ම රාජකාරි නිළධාරින් ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර යවා ඇත. දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව යටතේ අදාළ ජන්ද පෙට්ටි රැගෙන යාම සිදු වු බව වාර්තා වේ.

    පොළොන්නරුව

    ජනාධිපතිවරණය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අ ද(15) උදැසන 8.00ට ආරම්භ කරනු ලැබූ බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරීවරයා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 326,443 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේ දී ජන්දය
    ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව, දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයා පවසයි. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 288ක් වෙත ජන්ද පෙට්ටි ලබාදීම හා රැගෙන යාම අද දිනයේ සිදුවූ බවයි. මැතිවරණ රාජකාරි වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 6000කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිවරයා පැවසුවේය.

    නුවරඑළිය

    මෙවර ජනාධිපති මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 569,028 ක් ඇති බවත්, සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 488 ක් ස්ථාපිත කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිළධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. ජනාධිපති මැතිවරණය සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සූදානම සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින්  ඒ මහතා, ඡන්ද ගණන් කිරිමේ මඨ්‍යස්ථාන ලෙස ඡන්ද ගණන් කිරිමේ ශාලාවල් 48ක් ඇති බවත්, එයින් ශාලා  33ක් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ පිහිටුවා ඇති බවත්, ඉතිරි ශාලා 15 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති බවත් පවසන රෝහණ පුෂ්පකුමාර මහතා, ඡන්ද විමසීමේ නිලධාරීන් 6,800ක් ඡන්ද රාජකාරි සඳහා යෙදවීම  සිදු කරන බවත් පැවසීය. ඡන්ද ගණන් කිරීම සඳහා නිළධාරීන් 3,100 ක් යොදවා ඇත. ඡන්ද විමසීමේ සමස්ත ආරක්ෂක කටයුතු සඳහා පොලිස් හා විශේෂ කාර්ය බලකා නිළධාරින් 1,590 ක පමණ පිරිසක් යොදවා තිබේ.

     

    Latest News