ඉදිරි දින කිහිපයේත් වැසි (වීඩියෝ)

සැප් 14, 2019

    දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව, කාලගුණ නිවේදනයේ සඳහන් වේ. සෙසු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අද උදේ 8.30ට අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම වර්ෂාපතනය වාර්තා වුණේ, යාපනය දිස්ත්‍රික්කයෙනි. එය, මිලිමීටර 78.4ක්. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත්, 55ත් දක්වා ඉහළයාමේ හැකියාවක් පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    බදුල්ල ප්‍රදේශයට පවතින අධික වර්ෂාව නිසා දුන්හිඳ, රාවණා, දියලුම ඇතුලු දිය ඇලිවල ජල මට්ටම වැඩි වී තිබේ. මේ හේතුවෙන් එම දිය ඇලි නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 20:11

    Latest News