අගමැති රනිල්: ආණ්ඩුව පිළිවෙත ලිඡ්ජවි රජ දරුවන්ගේ උපදෙස් අනුවයි

ජූනි 17, 2019

    මිහින්තලා පුදබිම ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන වැඩි දියුණු කිරීමට අවශ්‍ය පූර්ණ සහය රජය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ආලෝක පූජාව සඳහා දායකත්වය ලබා දී තිබේ. වර්තමානයේ මිහින්තලා පූජා භූමිය ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ...

    “මං පැමිණි පළමු අවස්ථාවේ මේ ප්‍රදේශයේ විදුලිබලය තිබුණේ නැහැ. ජෙනරේටර් යන්ත්‍ර ගෙනත් තමයි විදුලි බලය ලබාදුන්නේ. විශේෂයෙන්ම පාස්කු ඉරිදා බෝම්බයෙන් පස්සේ මට උවමනා වුණේ වෙසක් උත්සවයත්, පොසොන් පොහොයත් අපි උත්සවාකාරයෙන් පවත්වන්න. ඒ නිසා ඒ ස්ථානවලට අපි කතා කළා. තොරතුරු ලබාගත්තා. අදාළ ඇමතිවරු සමඟ සාකච්ජා කරලා ක්‍රියාත්මක වුණා. මේක ශුද්ධ භූමියක් අපේ ඉතිහාසයේ මුලාරම්භය. මිහින්තලයට මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණිමෙන් තමයි බෞද්ධ ආරම්භය අපිට ඇතිවුණේ. පණ්ඩුකාභය රජතුමාටත් පෙර මේ සිංහල ජනතාව ඇවිල්ලා මල්වතුඔය දෙපසේ තමයි ශිෂ්ටාචාරය ආරම්භ වුණේ. මල්වතුඔය දෙසටත් අපි අවධානය යොමු කරලා තියෙනවා. මල්වතුඔය ජලාශයත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් කොහොමත් මේ වාරිමාර්ග දියුණුව අපි ආරම්භ කරලා තියෙනවා. මිහින්තලය දියුණුවත්, මල්වතුඔය දියුණුවත්, අනුරාධපුර දියුණුවත් එක්ක අපේ ශිෂ්ටාචාරයේ මූලස්ථාන ටික බලාගන්න ඉතිහාසය දැනගන්න සියලු දෙනාටම අවස්ථාවක් ලැබෙනවා. මම අපේ නායක ස්වාමීන් වහන්සේටත් කියන්න කැමතියි ආණ්ඩුව තුළත්, ඇමති මණ්ඩලය තුළත් ලිඡ්ජවි රජ දරුවන්ගේ උපදෙස් අනුව තමයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on සදුදා, 17 ජූනි 2019 20:26

    Latest News