නිරිතදිග මෝසම් සක්‍රීයයි - වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ජූනි 07, 2019

    නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර ඒ හේතුවෙන්, දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් හෙට (08) දිනයේදී ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

    විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ද ගම්පහ, කොළඹ, පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මේ අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකයි.

    දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News