සීමා නිර්ණ නැතත් අධිකරණ තීන්දුවෙන් ඡන්දයකට යා හැකියි..

ජූනි 03, 2019

    අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතුවලින් තොරව වුවද පැවැත්වීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

    කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරු ඉදිරිපත් කළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එම දැනුම්දීම සිදු කළේය.

    මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස දෙවන දා විභාගයට ගැනීමට නියම කළේය.මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු හමුවේ.පෙත්සම්කාර හිටපු ප්‍රධාන අමාත්‍යවරු කියා සිටින්නේ පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි.

    එම නිසා අදාළ මැතිවරණය වහාම පත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද එම හිටපු අමාත්‍යවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

    මේ අතර කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

    Last modified on සදුදා, 03 ජූනි 2019 15:20

    Latest News