ජන්ම දිනයට පැලයක් සිටුවමු; මාතලෙන් අලුත් වැඩක්

මැයි 29, 2019

    මාතලේ නාගරික බල ප්‍රදේශයේ වන වියන වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    නාගරික බල ප්‍රදේශයේ පදිංචිව සිටින සෑම පුද්ගලයකුගේම උපන්දිනයට පැළයක් රෝපණය කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. දිනෙන් දින නාගරික වැසියන්ගේ පොදු අවශ්‍යතා වැඩිවීමත් සමඟ මාතලේ නගරයේ පැවති වන වියන අඩු වී යෑම ඉදිරි පරපුරට දැඩි අවධානම් තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් මේ පිළිබඳව ගැඹුරෙන් සිතා බලා නාගරික පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන්, පාසල්වල සිසු දරු දැරියන් හා ගුරුවරුන්ගේ සහයෝගයෙන් වන වගා වැඩසටහන මාතලේ මහනගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.


    අඛණ්ඩව දිගින් දිගටම තමන්ගේ ජන්ම දිනයේ උදෑසනම පැළයක් සිටුවීමේ සිතුවිල්ල ඇති කිරීමත් සමඟ එය වසරින් වසර වන වියන වැඩිවීමට දායකත්වය ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය. දෙවන අදියරේදී පෞද්ගලික හෝ රාජ්‍ය මැදිහත්වීම මත සෑම පුද්ගලයකුටම සිය උපන්දිනයට පැලයක් පරිත්‍යාග කිරීමට ඇති හැකියාව පිළිබඳව මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම තමාගේද අවධානය යොමුවී ඇතැයි නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News