ජාතික පරිසර සැමරුම් සතිය හෙට සිට

මැයි 29, 2019

    ජූනි මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව හෙට (30) සිට ජූනි 5 දක්වා ජාතික පරිසර සැමරුම් සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

    'තිරසර වන කළමනාකරණයක් තුළින් වායු දූෂණය අවම කිරීම' යන්න තේමා කැර ගනිමින් මෙම පරිසර සතිය තුළ විවිධ ක්ෂේත්‍ර යටතේ ක්‍රියාකාරකම් රැසක් දියත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

    'ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන' මැයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයට 2016 වසරේ සිට ජාතික පරිසර සැමරුම් සතිය ක්‍රියාත්මක වේ.

    ඒ අනුව මෙම සතිය තුළ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් ද නිකුත් කැර තිබේ. ඒ අනුව මැයි 30 වැනිදා පරිසරය පවිත්‍ර කිරීම හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, මැයි 31 වැනි දා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත් නම් කැර ඇත. ජුනි 1 දා රුක් රෝපණය වෙනුවෙන් ද ජූනි 2 වැනි දා ජලය හා මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කැර තිබේ.

    ජූනි 3 වැනිදා ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වන අතර ජූනි 4 වැනිදා තිරසර ඉඩම් කළමනාකරණ දිනය වේ. ජූනි 5 වැනිදා ජගත් පරිසර දිනය සැමරේ. සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, පලාත් පාලන ආයතන හරහා පළාත් පාලන බල ප්‍රදේශ ආදිය මුලික කර ගෙන ජගත් පරිසර දිනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම්, පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන, කසල බැහැර කිරීමේ කටයුතු විධිමත් කිරීම, රුක් රෝපණය හා පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් මෙම සතිය පුරා මේ අනුව ක්‍රියාත්මක කෙරේ.

    Last modified on බදාදා, 29 මැයි 2019 08:04

    Latest News