මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න" යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.....
"අපි උත්සාහ කළේ හදිසි විදුලය මිලදී ගැනීමක් සිදු නොකර ඉන්න. නමුත් ඇති වූ විදුලි ඌනතාව හේතුවෙන් එය නොකර බැරි වුණා. දැනට තිබෙන බලාගාරවල නිෂ්පාදන වියදම රු. 30.00 ට වැඩියි. නමුත් හදිසි විදුලිය මිලදී ගන්න ටෙන්ඩර් කැදවීමෙදි මිල නියම වෙලා තිබුණේ රු. 28.00 , රු. 30.00 වගේ. වසරකට ටෙන්ටර් කැදවුවොත් මිල වැඩිවන නිසා අපි මාස 06 කට ගන්න තීරණය කළා.
මෙම හදිසි විදුලිය මිලදී ගැනිම පිළිබදව ජනතාව අතර නොයෙක් ආකාරයේ මත ඇති වුණා. මේ තුළින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවට මත පළවුණා. ඒ නිසා මෙම මිලදී ගැනීම් අතරතුරදීම, මෙම තත්ත්වය වෙනස් කරන්න හැකි ආකාරයේ විකල්ප මාර්ග ඉදිරිපත් කරන්න කියලා අපි ජනතාව දැනුවත් කළා. ඒ අවස්ථාවේ තුර්කි රජයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. රු. 24.98 ක් තමයි ඔවුන්ගේ මිල වුනේ. සියළු බදුත් සමග මෙහි මිල වන්නේ රු. 26.20 ක් පමණයි. ඒ අනුව අපි මේ පිළිබදව කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා, දැනට අපේ බලාගාර වලට වඩා අවම මිලක් සහිත නිසා කැබිනට් අනුමැතිය ලැබුණා.
හදිසි විදුලිය මිලදී ගැනිමක් අවශ්‍යයි කියලා තීරණය කළේ අපි නොවෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අදාල නිලධාරීන් තමයි කිව්වේ මෙගාවොට් 470 ක හිගයක් පවතිනවා, එය වහාම සපයා දෙන්න කියලා. ඒ නිසයි හදිසි විදුලිය මිලදි ගැනීමකට යාමට සිදුවුණේ. සමහර පිරිස් අකමැතියි විදුලි ගැටළුව විසදලා, විදුලි කප්පාදුව නැති කරනවාට. ලංවිම නිපදවන විදුලි ඒකකයකට වඩා පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම වඩා වාසි දායකයි. නමුත් අපි මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තිබෙන නිසා දැන් ඒවා වෙනස් කරන්න බැහැ.
කුමන ආකාරයකින් මේ දේවල් සිද්ධ වුණත්, කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ. ඒ පදනම අපි ආරක්ෂා කරනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අපි විදුලිය නිෂ්පාදනය කල යුතුයි.