අගමැතිතුමා සහ විදේශීය තානාපතිවරුන් අතර සාකච්ජාව

මැයි 24, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සමග අද (24) අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

    එහිදී ආරක්‍ෂක අංශ විසින් වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් කරුණු ගෙනහැර දක්වන ලදී.
    මෙම සිද්ධිය මුවාවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් දැරූ අයට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද ආරක්‍ෂක අංශ මෙහිදී අවධාරණය කළේය. එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇති බව සහ උපරිම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ පසුබිම මත ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. 

    මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 19:17

    Latest News