රන්ජන්ගේ නඩුවට විනිසුරු නොමැතිවේ..... ජූලි 29 කල් යයි

මැයි 13, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබුණ.

    එහෙත් විජිත් මලල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතුවලට සහභාගි වන හෙයින් මෙම නඩුවේ විභාගය ජුලි මස 29 වනදාට කල් දමන බවයි සිසිර ද ආබෲ ,මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියම කළේය. එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල අවවාද කෙරිණ.

    එමෙන්ම විත්තිය සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුළු සාක්ෂිකරුවන් පිරිසකට ද එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණය මගින් නැවත සිතාසි නිකුත් කරනු ලැබුවේය.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇත.

    ඉකුත් අගෝස්තු මස 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රන්ජන් රාමනායක අමාත්‍යවරයා මෙරට සිටින නීතීඥවරුන් සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් වශයෙන් හඳුන්වා දී තිබිණ.

    මෙම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක අමාත්‍යවරයා අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇතැයිද ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් ප්‍රකාශ කර තිබේ. අධිකරණ අපහාස කිරීමේ පැමිණිල්ල විභාග රංජන් රාමනායක අමාත්‍යවරයාට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    එම පැමිණිල්ලට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබේ

    Latest News