නාගහනන්දගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහි පෙත්සම ඉවතට

මැයි 09, 2019

    හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය කරනු ලැබිණ. වසර තුනක තහනමකට ලක් වී සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

    නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.

    ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

    පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා පතේසමේ පාදක වන කරුණ අධිකරණ කටයුත්තක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව තර්ක ඉදිරිපත් කර තිබේ.

    එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

    Latest News