ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනපතිට හැකි..... බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

මැයි 03, 2019

    ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනට දේශපාලන නායකත්වය ඉතා වැදගත් බවත් එය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලර්ස් පවසයි.

    එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති බෙන් වොලර්ස් මහතා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අද හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

    ත්‍රස්ත අභියෝගය පාලනය කිරීමට ජනපති ගත් පියවර තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිම පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා ප්‍රසාදය පළ කරනු ලැබීය. බෙන් වොලර්ස් මහතා "ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කොටසක් බව මේ වන විට සනාථ වී තිබෙනවා". මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේ දී අන්තර්ජාතික සහය අවශ්‍ය බව ද ඔහු පෙන්වා දුනී.

    මෙම ඛේදවාචකයේදි ශෝකය පළ කරමින් දෙවන එළිසබෙත් මහ රැජින, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය එවු ශෝක පණිවිඩ පිළිබඳව සහ එම අසීරු අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය දැක්වූ සහය පිළිබඳව ජනාධිපතිතුමා සිය ස්තුතිය පල කළේය. විමර්ශන කටයුතුවලට සහය දෙමින් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් කඩිනමින් දිවයිනට එවීම පිළිබඳව ද ජනාධිපතිතුමා කෘතඥතාව පළ කළේය.


    ඉස්ලාමිය ත්‍රස්තවාදින් සෑම ප්‍රහාරයක් සඳහාම වෙන් වෙන් උපායමාර්ග භාවිත කරන බැවින් එය පරාජය කිරීමට සෑම රටකම ඔත්තු සේවා සහ රහස් තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

    ISIS ත්‍රස්තවාදින් සමඟ සටන් පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකුව සිටි බෙන් වොලර්ස් මහතා ඉන් පසුව දේශපාලනයට පිවිසියේය.
    බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ISIS ත්‍රස්තවාදය වෙත අවධානය යොමුකර සිටියදි අල්කයිඩා ත්‍රස්තයින්ගෙන් ලන්ඩනයට සහ මැන්චෙස්ටර් නුවරට එල්ල වු ප්‍රහාරයන් කිසිසේත් බලාපොරොත්තු නොවූ වක් බව ඔහු පෙන්වා දුනි.

    ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනාගැනීමට බ්‍රිතාන්‍ය රජය සිදුකළ පරිදි සියලු දේශීය බුද්ධි අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බව ඔහු කියා සිටියේය. එ සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට බ්‍රිතාන්‍ය සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 19:18

    Latest News