දිවි පරදුවට තබා ත්‍රස්තවාදය වැනසීමට සුදානම්...... ජනපති සහ නීතිපති අතර අද විශේෂ සාකච්ඡාවක්

මැයි 02, 2019

    අප්‍රේල 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප‍්‍රකාශ කරමින් එකිනෙකාට ඇගිල්ල දිගුකර ගැනීම නොවිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටි. ජාතියක් ලෙස සියලූදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි. ආරක්ෂිත මවු බිමක් - ජවය පිරි වැඩ බිමක්, තේමාව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම සැමරුම් උත්සවයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙනවා. රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙනනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබනවා. මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලූ දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නාවා“ යැයි කියා සිටියේය.

    මෙම සිදුවීම පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ඊයේ තමාට ලැබුණු බවත්, එහි සඳහන් කරුණු පිළිබඳ හෙට නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළේය. මෙරට වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු සියලූදෙනා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගීමේ කාර්යය සමඟ කිසිදු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පාක්ෂිකයන් මීට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:40

    Latest News