නීතිපති ජයන්ත ජයසූරියට අගවිනිසුරු විමට අනුමැතිය

අප්‍රේ 26, 2019

    අගවිනිසුරු ධුරයට නීතිපති ජයන්ත ජයසුරිය මහතා පත් කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබිණ. එ අනුව අද (26) පෙරවරුවේ රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නීතිපති ජයන්ත ජයසුරිය මහතාගේ අගවිනිසුරු ලෙස එකමතිකව අනුමත කර ඇත.

    නීතිපති ජයන්ත ජයසූරිය මහතා වසර 33ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1982 දී නීතිඥවරයෙකු ලෙස සමත්වී ජනාධිපති නීතිඥ දයා පෙරේරා සහ නීතිඥවරුන් වන ආරිය බී රැකව, සී.විග්නරාජා යන මහත්වරුන් යටතේ කනිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කර ඇත. 1983 දී නීතිඥවරයෙකු ලෙස නිතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ජයසූරිය මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යයත්වයක් මත නීතිය හා මානව හිමිකම් පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිය ලබා ගෙන ඇත. 

    එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ අධිකරණ දෙකක පැමිණිලි මෙහෙයවන නීතිඥවරයා ලෙස වසර 04 ක කාලයක්, සේවය කළ ජයසූරිය මහතා රෝයල් පාර්ක් තරුණිය ඝාතන නඩුව, අගුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව වූ නඩුව, සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය කිරීමේ නඩුව වැනි සුවිශේෂී නඩු කිහිපයකම පැමිණිල්ල මෙහෙයවා ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

    මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතාව විගණකාධිපති ලෙස පත් කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබිණ.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 12:38

    Latest News