ශී‍්‍රමා දිසානායක මහත්මියගේ අභාවය;ජනපති නිකුත් කළ ප‍්‍රකාශය

මාර් 31, 2019

    ශ‍්‍රීමා දිසානායක මහත්මියගේ ජීවිතය සිය පවුල සහ රට වෙනුවෙන් ධෛර්වන්ත, අවංක සහ උත්තුංග කැපවීම පිළිබඳව ප‍්‍රතිමූර්තියකි.

    එතුමිය සිය දිවියෙන් සමුගත්ත ද ඇය විසින් මෙරටට සිදුකරන ලද සාධනීය සේවාව තව බොහෝ කලක් නොනැසී පවතිනු ඇත. සිය ස්වාමිපුරුෂයා වූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ දර්ශනය ඉදිරියට ගෙන යාම පිණිස කැප වූ ඇය වරප‍්‍රසාදිත තරුණ-තරුණියන් හට මනා පරිගණක සහ ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් ලබාදීම මගින් දිළිඳුබව පිටුදැකීම පිණිස පිහිටුවන ලද ගාමිණි දිසානායක තාක්‍ෂණික සහ වෘත්තීය පුහුණු ආයතනය පිහිටුවීම සහ මෙහෙයවීම පසුපස වූ අයෝමය හස්තය වූවාය.

    විශාල ලෙස ලාභ ඉපැයිය හැකි ක්ෂේත‍්‍රයක් තුළ වුව ද, කිසිවිටෙකත් ලාභ ලැබීමේ අරමුණකින් තොරව සිය දර්ශනය මනාව පිළිබිඹු කරමින් මෙරට අගහිඟකම් ඇති සුවහසක් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට එතුමිය සරණක් වුවාය. බොහෝ තරුණ-තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදීම මගින් පවුල් දහස් ගණනක් දිළිඳුබවින් මුදා ගැනීමට එය මහත් රුකුලක්ම විය.

    මා දිසානායක මහත්මිය හඳුනා ගත්තේ වර්ෂ 1990 දශකයේ අගභාගයේ දී ය. ඒ සිය ස්වාමියා වූ ගාමිණි දිසානායක මැතිතුමා විසින් ආරම්භ කරන ලදුව සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාවක් නොලැබුණු ව්‍යාපෘතියක් වු කොත්මලේ මහවැලි මහා සෑය නිම කිරීම සඳහා කටයුතු කරන මෙන් එවකට මහවැලි ඇමතිවරයා වශයෙන් මාගෙන් එතුමිය ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේ දී ය. ඉන්පසු වසර 13 ක් පුරා දරන ලද මහත් වූ පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් වශයෙන් 2016 වර්ෂයේ දී මහවැලි මහා සෑය සම්පූර්ණ කිරීමට මා හට අවස්ථාව ලැබීම භාග්‍යයකි.

    ශ‍්‍රීමා දිසානායක මහත්මිය දක්ෂ නීතිඥවරියක් වූ අතර, සුප‍්‍රකට දානපතිනියක් ද ආදරණීය මවක් සහ මිත්තණියක් ද වූවාය. ඇයගේ අභාවය සමස්ත රටට ම මහත් වූ පාඩුවකි. සියලූ ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දිසානායක මහත්මිය වෙත මාගේ කෘතවේදිත්වය පළ කරන අතර, ඇයගේ දරුවන් වන නවින් දිසානායක, මයන්ත දිසානායක, වරුණි දිසානායක යන මහත්ම මහත්මීන් වෙත මෙන්ම මුණුබුරු, මිණිබිරියන් වෙත ද මාගේ ශෝකය පළ කරමි.

    Latest News