ජිනීවාහි දී පරමාධිපත්‍ය හා නිදහස ආරක්‍ෂා කළා-අගමැති

මාර් 22, 2019

    මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 67 වැනි ගුණානුස්මරණ උළෙල අද පස්වරුවේ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ.

     

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුණු අතර, ආගමික වතාවත් ද පැවැත්විණි. මෙරට නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ද වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් සර්ව ජන ඡන්දබලය හිමි ප්‍රථම රට බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ දේශපාලන මැදිහත්වීම තුළින්.

    රට සහලින් ස්වයංපෝෂිත කර නිවහල් රාජ්‍යයක් කරා ගෙන යාම පිණිස ස්වකීය දේශපාලන ජිවිතය කැප කළේය. වියළි කලාපයේ නව වාරිමාර්ග ක්‍රම ඇතිකර මින්නේරිය, ගල්ඔය වැනි ගොවි ජනපද පිහිටුවීමේ උදාර කාර්ය භාරය ඔහු ආරම්භ කර තිබේ. නිදහස් අරගලය තවත් ශක්තිමත් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක අඩුව පුරවනු වස්, මෙරට සියලු ජාතීන් එක්රැස් කරගනිමින් 1946 සැප්තැම්බර් 6 වැනිදා තනි පක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවනු ලැබීය.

    එහි ප්‍රථම සභාපතිවරයා වූයේ ද එතුමායි. රටට සුවිශාල සේවයක් කළ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් වර්ෂ 1952 මාර්තු මස 22 වැනි දින දැයෙන් සමුගත්තේය.
    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    “මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව 2009 මැයි මාසයේ දී හිටපු මහලේකම්වරයා සමඟ ගිවිසුමකට පැමිණියා. එදා එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම මානුෂීය වැඩපිළිවෙළ පිළිබඳව එදා දැනුම් දුන්නා.

    එදා ලංකාණ්ඩුව බාරගත්තා උවමනා පියවර ඉටු කරන බවට. එදා පැහැදිලි කෙරුවේ නැහැ කොහොමද මේක කරන්නේ කියලා. එවකට හිටපු ආණ්ඩුව එකඟවුණා ජාත්‍යන්තරයට යන්න. යුද අධිකරණයට යන්න එකඟවුණා. ඒ එකඟ වුණාට පස්සේ තමයි හැමෝම බයවුණේ. එතකොට කාටවත්ම රට යන්න බැරිවුණා. එතකොට අපේ නායකයින් ලන්ඩන් ඉඳලා පැනගෙන ආවා ලංකාවට අත්අඩංගුවට ගනිවි කියලා. එවැනි තත්වයක් තමයි ඇතිවුණේ.

    අපි වගකීම අරගෙන කිව්වා මේ රටට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා කියලා. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. ආරක්ෂක අංශවල හරි එල්ටීටීඊ එකේ හරි නීතියට පිටින් කටයුතු කරලා තියෙනවනම් ඒ අයට එරෙහිව නඩු දානවා කියලා අපි කිව්වා. නමුත්, අපි කිව්වේ නැහැ බන්දේසියක දාලා මෙන්න අපේ නඩු අහන්න කියලා යුද අධිකරණවලට. අපේ රජයේ ස්ථාවරය ලෝකය පිළිගෙන තියෙනවා. ලෝකයේ රටවල් කියන්නෙ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා කියලා.

    මේ අය කියනවා අපි රණවිරුවන්ව ජිනිවාවලට ගෙනියනවා කියලා. අපට එහෙම අවශ්‍ය වන්නේ නැහැ. අපි එහෙම ගෙනියන්නේ නැහැ. නීතිය කඩ කරලා තියෙනවනම් මෙහෙ නඩු දාලා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. නමුත් අපි අපේ රණවිරුවන්ව එක්සත් ජාතීන්ගේ සාම හමුදාවන් ලෙස මාලි රටට යවලා තියෙනවා. එක තමයි අපි ඩී.එස්.සේනානායක මැතිතුමාගෙන් ඉගෙන ගත්තේ.

    අපි ජිනිවාවලදී අපේ පරමාධිපත්‍ය තහවුරු කරලා, නිදහස තහවුරු කරලා, අපේ ක්‍රමය ගැන විශ්වාසය ඇති බව කියපු එකෙන් සියලු අර්බුදය සමථයකට පත්කරගැනීමට හැකි වුයේයැයි“ ඔහු කියා සිටියේය.

    Latest News