ජනතාව බඩගින්නේ නොතබන බව අගමැති කියයි...

ජූනි 17, 2022

    ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තම ප්‍රතිපත්තිය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.

    ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව අගමැති කාර්යාලයේදී අද (17) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියා. ඉදිරි කාලයේදී ලාංකික ජනගහනයෙන් ලක්ෂ 10ත් 50ත් අතර පිරිසකට ආහාර අර්බුදය ඍජුව බලපා හැකි වුවත්, එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි, අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේ.

    විශේෂයෙන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිලිබඳව වැඩි අවධානය යොමු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා. ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසත්, ඊට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුලු අදාළ ආයතනවල නියෝජිතයන් ඊට එක් කරගන්නා ලෙසත්, අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියා.

    මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම් සති දෙකක් තුළ තමාට ලබාදෙන ලෙසත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදාළ නිලධාරින්ට දැනුම් දුන්නා. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙනයාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරින්ට, පෞද්ගලික අංශයට බෙදා බාරදියයුතු බවිය, අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ.

    මේ සදහා උපාධිධාරී පත්වීම් ලැබ, ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල සිටින අයද එක්කරගත යුතුයැයි ද, ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. ආහාර සුරක්ෂිතතාව යන කාරණයේදී ළමා හා වැඩිහිටි නිවාස, ආබාධ සහිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානය යොමුකළ යුතුයි. කලාපීය වශයෙන් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන සැලැස්මක අවශ්‍යතාව අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නා. මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු, හිටපු අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News