සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු යළි ඇරඹේ

දෙසැ 07, 2021

    තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) නැවත ආරම්භ කිරීමට නියමිතයි.

    බොරතෙල් තොග නොමැති වීම හේතුවෙන් නොවැම්බර් මස 15 වැනි දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කරනු ලැබීය. ඒ දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින්.

    කෙසේ වෙතත් තෙල් පිරිපහදුව වසා දමා දින 22 කට පසුව යළිත් එහි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාමට නම් දිනකට බොරතෙල් ටොන් 6,500 ක් අවශ්‍ය වෙයි. එලෙස උපරිම ධාරිතාවයෙන් ඉන්ධන පිරිපහදුව ක්‍රියාකරන අවස්ථාවකදී දෛනිකව එල් පී ගෑස් ටොන් 90 ක්ද, සියයට 20 ක් හෝ 25 ක ප්‍රමාණයක් ඩීසල් ද, පෙට්‍රල්, භූමිතෙල් සහ ගුවන් යානා සඳහා යොදන ජෙට් ඒ වන් ඉන්ධන සියයට 15 බැගින් ද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් නිකුත් කෙරේ.

    එහිදී දැවිතෙල් සියයට 35 ක පමණ ප්‍රමාණයක් ද අවශේෂ ලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් නිකුත් කරන බවයි වාර්තා වන්නේ. පිරිපහදුවේදී ඉතිරි වන නැප්තා, විදුලි උත්පාදනය කිරීම සඳහා බලාගාර වෙත යොමු කෙරේ.

    Latest News