මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජූලි 22, 2021

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඒ, ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමින් ඉල්ලා ඇත.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධනය පනත් කෙටුම්පත තුළින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවයි.

    එම පනත් කෙටුම්පත හරහා නීති විරෝධී ලෙස මුදල් උපයා ගත් පුද්ගලයින්ට මුක්තියක් පිරිනමා ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කියා සිටින්නේ.

    එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් දේශීය ආදායම් පනත සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත වැනි පනත්වල අඩංගු ඇතැම් ප්‍රබල වගන්ති අක්‍රීය කිරීමක් සිදු වන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

    එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්න පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News