කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න; අගමැති

ජූලි 20, 2021

    කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය.

    කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 පැවති සාකච්ඡාවක මුලසුන ගනිමින් අගමැතිතුමා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදි. රෝහලේ නව ඒකක ආරම්භ කරමින් ප්‍රදේශයේ රෝගීන්ගේ සියලු අවශ්‍යතා සම්පූර්ණවන අකාරයට කුලියාපිටිය මූලික රෝහල සංවර්ධනය කළ යුතු බව අගමැතිතුමා පෙන්වා දුන්නේය.

    කුලියාපිටිය මූලික රෝහලේ පවතින ගැටලු, වර්තමාන තත්ත්වය හා සංවර්ධනය කළ යුතු අංශ පිළිබඳව කුලියාපිටිය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා විසින් දැනුවත් කරන ලදි.

    මෙයට අමතරව කුරුණෑගල පළාත් රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස වැඩි දියුණු කිරීමේ දී අවශ්‍ය කරන වෛද්‍ය ඒකකය, ළමා රෝග ඒකකය සහ ශල්‍ය ඒකකය යන ඒකක තුන සඳහා සැලසුම් නිර්මාණය කොට වෛද්‍ය ඒකකය තට්ටු 14ක ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස ඉදිකිරීම සඳහා අවශ්‍යකරන තාක්ෂණික අනුමැතියට යොමු කිරීමට ද මෙහි දී තීරණය විය. අදාළ තීරණයට අනුව මාස කිහිපයක් තුළ මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News